hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 26, පෙ.ව. 9:37



බස් රථ 200කට ආසන්න සංඛ්‍යාවක් ලීසිං ආයතන විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති බව ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවැසුවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාහන අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය උල්ලංඝනය කරමින් අදාළ ආයතන විසින් බලහත්කාරයෙන් එම බස් රථ අත්පත් කරගෙන ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

බලහත්කාරයෙන් වාහන අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා මහ බැංකුවට සහ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවද පැවැසූ හෙතෙම ඒ සම්බන්ධව මෙතෙක් පිළිතුරක් ලැබී නොමැති බවද ප්‍රකාශ කර සිටියා.

ප්‍රමාණවත් ඉන්ධන කෝටාවක් නොලැබීම මත මගී බස් රථ ධාවනය වන්නේ සියයට 50ක ප්‍රමාණයක් බවද ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.

මේ වන විට මගී බස් රථයකට සතියකට ලබාදෙන ලීටර් 40ක ප්‍රමාණයෙන් බස් රථයක් ධාවනය කළ හැක්කේ මාසයකට දවස් 12ත් 15ත් අතර දින ප්‍රමාණයක් බවද හෙතෙම පැවැසුවා.

එම හේතුව මත බස් රථවලින් ලැබූ ආදායම අඩු වී ඇති බවද එම බලපෑම හේතුවෙන් සහ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රථ සඳහා ලබාගෙන ඇති ලීසිං සඳහා ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවද හෙතෙම කියා සිටියා.

එම වාතාවරණය ප්‍රවාහන ලොරි රථ සඳහා බලපා ඇති බවද ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් රජයෙන් විසඳුමක් බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසුවා.