hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 27, ප.ව. 6:00



මස්කෙලිය සිට කොළඹ දක්වා ධාවනය කල අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියදුරා , කොන්දොස්තරවරයා සහ බස් රථය ඊයේ (26) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර සැකකරුවන්ට එරෙහිව මේ මස 31 වන දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති විරාජ් විතානගේ මහතා පැවසුවා.

මස්කෙලිය සිට කොළඹ දක්වා ධාවනය කල එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා අධික ලෙස බිමත්ව සිටින බවට එම බස් රථයේ ගමන් ගත් මගින් විසින් ගිනිගත්හේන පොලීසිය වෙත කල දැනුම් දිමක් මත ධාවනය වෙමින් තිබු එම බස් රථය ඊයේ (26) දින පස්වරු 3.30 ට පමණ ගිනිගත්හේන නගරයේදි බස් රථය නතර කර රියදුරා සහ කොන්දොස්තරවරයා පරික්ෂා කිරිමේදි දෙදෙනාම අධික ලෙස බිමත්ව සිටි බවට තහවුරු වු බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

මස්කෙලිය නගරයෙන් පස්වරු 1.45 ට කොළඹ දක්වා ගමන් ආරම්භ කරන එම බස් රථය අත්අඩංගුවට ගන්නා අවස්තාවේ බස් රථයේ මගින් 50 දෙනෙකු පමණ සිටි බවත්, එම බස් රථය ධාවනය වු මාර්ගය අධික බැවුම් , වංගු සහිත පටු මාර්ගයක් බවත්, එම මාර්ගය ස්ථාන කිහිපයකින්ම දැඩි ලෙස අබලන්ව පවතින බවත්, එම මාර්ගයේ රිය අනතුරු සිදු විමේ අවධානමක් තිබෙන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

එම බස් රථයේ ගමන් කල මගින්ව හැටන් ලංගම ඩිපොවෙන් බස් රථයක් ගෙන්වා සිය ගමනාන්තය දක්වා පිටත් කර යැවු බවත්, පොලිස් භාරයට ගත් අවිස්සාවේල්ල ලංගම ඩිපෝවට අයත් බස් රථය එම ඩිපෝවේ පාලන අධිකාරිය වෙත මුදා හැරි බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.

ගිනිගත්හේන හරහා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ වල මෙන්ම වාහන වල බිමත් රියදුරන් පිලිබදව තොරතුරු වෙතොත් ඒ පිලිබදව ගිනිගත්හේන පොලිසිය දැනුවත් කරන ලෙස ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා මගින්ගෙන් ඉල්ලා සිටියි.