hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 18, පෙ.ව. 7:33



ජාතික මංමාවත් පනතේ 42 වන වගන්තිය මගින් ජාතික මහා මාර්ගයක් සදහා නියමකර ඇති ඉදිකිරීම් සීමාව උල්ලංඝණය කරමින් කර ඇති ගොඩනැගිල්ලක් 2022 සැප්තැම්බර් 28 හෝ ඊට පෙර ඉවත් කරනා ලෙසට දැනුම්දී ඇතත් එය මේ වන තෙක් සිදුව නොමැති බැව් බදුල්ල මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා සදහන් කර සිටිනවා.

සංවර්ධනය වූ පේරාදෙණිය චෙන්කල්අඩි මාර්ගයේ මීදුම්පිටිය ප්‍රදේශයේ කලක් තිස්සේ තිබුණු මගී ආවරණය ඉවත් වීමත් සමගම එක්තරා පුද්ගලයෙක් විසින් එම ස්ථානයේ අනවසර ඉදිකිරීමක් සිදුකර තිබෙනවා.

පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි මහා මාර්ගයේ මීදුම්පිටිය තොලබෝවත්ත ප්‍රදේශයේ වසර 50කට ආසන්න කාලයක් තිස්සේ තිබුණු මගී ආවරණය මාර්ගය සංවර්ධනය වීමත් සමගින් 2019 වසරේදී ඉවත්වූ බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ හේතුවෙන් ශ්‍රී ගනේෂන් දෙමළ විද්‍යාලය, තොලබෝවත්ත මහ විද්‍යාලය, ඇල්ල අංක 01 දෙමළ විද්‍යාලය ඇතුලු විද්‍යාල 5ක දරු දැරියන් මෙන්ම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුන දුන් බවත් නැවත එම මගී ආවරණය ඉල්ලා ඉල්ලීම් කලද එය නොලැබුණු බව ගම්වාසීන් සඳහන් කරනවා.

බිබිල, මඩකලපුව, අම්පාර, කාත්තන්කුඩි ආදී ප්‍රධාන බස් රථ මෙම ස්ථානයෙන් ගමන් කිරීම සිදුවන බැවින් මගී ආවරණය අත්‍යාවශ්‍ය කරුණක් බවත් ජනතාව පෙන්වා දෙනවා.

කෙසේවෙතත් මගී ආවරණය වෙනුවට එම ස්ථානයේ එක් පුද්ගලයෙක් විසින් 2019 වසරේදී තාවකාලික ඉදිකිරීමක් ආරම්භ කල අතර එහි කුඩා වෙළදසැලක්ද ඔහු විසින් ආරම්භ කල බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම තත්වය නීති විරෝධී වන බව දැන දැනත් ඔහු එම ස්ථානයේ වෙළදසැල පවත්වාගෙන එන අතර එම පුද්ගලයාට ඇති දේශපාලන හයිය නිසා එවැන්නක් සිදුවන බවට ද ජනතාව පෙන්වා දෙනවා.

නම කීමට අකමැති පුද්ගලයෙක් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා,

“මීදුම්පිටිය, තොලබෝවත්ත, කොස්ගම ආදී ගම්මානවල පවුල් 2000ක් පමණ ජීවත් වෙනවා. ගමනක් යන්න පාරට ඇවිත් බස් එකක් එනකම් අව්වෙන් හරි වැස්සෙන් හරි බේරෙන්න තිබුණු එකම මගී ආවරණය අද දේශපාලකයෙක්ගේ වෙළද ස්ථානයක් බවට පත්වෙලා. තාවකාලික විදිහට කරන ලද ඉදිකිරීම අද වන විට ස්ථිර ගොඩනැගිල්ලක් බවට පත්කරලා ඉවරයි. මේ නිසා පාසැල් ළමුන්ට වගේම ජනතාවට බස් රථයක් එනකම් ඉන්න තිබුණු මගී ආවරණය අද අහිමි වෙලා. පොඩි මිනිහෙක් මේ දේ කලානම් අද හිරෙත් දාලා ඇති. අදාල බළධාරීන්ගෙන් ඉල්ලන්නේ මේවා ගැන මීට වඩා හොයලා බලලා ජනතාවට සාධාරණයක් කර දෙන්න කියලයි.”

පස්සර ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.ඥාණතිලක මහතාගේ අත්සනින් යුත් පස්/ප්‍රා/03 දරන 2022.09.09 දිනැති ලිපියට අනුව බදුල්ල බිබිල මාර්ගයේ මීදුම්පිටිය හන්දියේ මගී ආවරණය තිබූ ස්ථානයේ තාවකාලිකව වෙළද ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවත් දැනට එම තාවකාලික වෙළද ස්ථානය ඉවත් කොට අනවසරයෙන් ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවත්, එම අනවසර ඉදිකිරීම හේතුවෙන් හා එම ස්ථානයේ මගී ආවරණයක් නොමැතිවීම හේතුවෙන් පාසැල් ළමුන් හා මගීන් දැඩි අපහසුතාවයකට පත්වන බවද නිරීක්ෂණය වන බවත් සඳහන් වෙනවා.

එබැවින් ඉදිකිරීම් කටයුතු වහාම නවත්වන ලෙස හා එසේ නොමැති වුවහොත් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කිරීමට සිදුවන බවට බිබිලපාර මීදුම්පිටිය පදිංචි ඉන්දික හේමසිරි යන අයට ලිඛිතව දන්වා යවා තිබෙනවා.

නමුත් එම ලිපිය කිසිදු තැකීමකට ලක් නොකරන මෙම පුද්ගලයා තව දුරටත් එම අනවසර ඉදිකිරීම තුල ව්‍යාපාරික කටයුතුද සිදු කරනා බව ජනතාව පවසනවා.

ආර්ඩීඒ/ඊඊ/බීඒ/ඩබ්/30 අංක යටතේ 2022.09.21 දිනැති ලිපියට අනුව බදුල්ල මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු වරයා විසින් ඉන්දික හේමසිරි යන අය වෙතද ලිපියකින් දන්වා යවා තිබෙනවා.

එම ලිපියට අනුව ජාතික මහා මාර්ගයේ රථවාහන ගමන් කරනා කොටසේ මැදසිට ඉදිකිරීමක් සිදුකල හැක්කේ මීටර් 15ක සීමාව තුල උවද මෙම ඉදිකිරීම බදුල්ල දෙසට මීටර් 4.95ක් දුරින් හා චෙන්කල්අඩි දෙසට මීටර් 7.30ක් දුරින් සිදුකර ඇති බවත් මෙසේ සිදුකර ඇත්තේ ජාතික මංමාවත් පනත උල්ලංඝණය වන ආකාරයෙන් බවත් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා.  

පළාත් පාලන ආයතනය හා මාර්ග සංවර්ධන අධිකාරිය තම ආයතන වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කටයුතු කිරීමට අදාලව සියලු ලිපි අදාල පුද්ගලයා වෙතට යොමුකර ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් ඔහු යහපත් ප්‍රතිචාරයක් ගෙන නොමැත.

එසේනම් ඔහු මේ ගෙන යනු ලබන්නේ කැලෑ නීතියද? රට එකම නීතියක් යන්න පොඩි මිනිහාට පමණක්ද? දේශපාලඥයින්ගේ ආශිර්වාද මැද තවත් මෙවන් මහජන පීඩාවන් නිමාව දකින්නේ කවදාද? යන ප්‍රශ්නය පමණක් ඉතිරිව තිබෙනවා.