hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූනි 30, පෙ.ව. 2:49



ඉන්ධන මිල ඉහල යාමත් සමඟ පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා මගීන් මේවන විට දැඩි දුෂ්කරතාවයට පත් ව තිබෙනවා.

බස් ගාස්තු ඉහළ යාමත් සමඟ මගීන් දුම්රියේ ගමන් ගැනීමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබෙනවා.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය නියාමකවරුන් ඇතුළු සේවකයන්ට සිය රාජකාරි වලට වාර්තා කිරිමේ ගැටළු හේතුවෙන් ඊයේ දිනයේදී කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබුණා.

ඊට දුර ගමන් සහ කාර්යාල දුම්රියද ඇතුළත්.

එමෙන්ම, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 16 ක් සහ මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 4ක් සහ භාණ්ඩ ප්‍රවාහන කරන දුම්රිය කිහිපයක් ද අවලංගු කළ දුම්රිය යටතට ඇතුළත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම හේතුවෙන් ඊයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ නිල නිවාස නොමැති දුම්රිය සේවකයින්ට ඉන්ධන නොමැති විම නිසා රාජකාරියට වාර්තා ගැටළු පවතින බැවින් ඊට විසදුම් දිමට බළධාරින් කටයුතු කළ බවයි.

එසේ නොකළ හොත් ඉදිරියේදි තවදුරටත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිම, පාර්සල් ප්‍රවාහනය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල ප්‍රමාදයන් සිදු විය හැකි බව වෘත්තිය සමිති පෙන්වා දෙනවා.

සේවකයින්ට තෙල් දෙන්න දුම්රිය ගබඩා අරී

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දුම්රිය නියාමක කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකි වී තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩාවෙන් සේවකයින්ට ඉන්ධන ලබාදීමට වැඩිපිළිවෙලක් සකස් කර ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවා.

බලාපොරොත්තු වූවාට වඩා විශාල මගීන් පිරිසක් දුම්රියේ ගමන් ගන්නා බවත් ඔවුන් ජීවිත අවදානම නොතකා දුම්රියේ ගන්නා බවත් පෙන්වා දුන් ඒ මහතා එය දරාගත නොහැකි පාලනය කළ නොහැකි තත්වයක් බවත් කියා සිටියා.

බස් රථ වල ගමන් ගන්නා මගීන්ටද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

බස්රථ ධාවනය වීම අඩු වීමත් නිසා දැඩි තදබදයක් හට ගෙන තිබෙනවා.

බස් රථයක් ධාවනය කරන්නේ දින දෙකකට වරක්

ඊයේ දිනයේ දිවයින පුරා පුද්ගලික බස් රථ ධාවනය වූයේ 2000කටත් අඩු සංඛ්‍යාවක් බවත් ජූලි 10 වැනිදා දක්වා ඒ ආකාරයෙන්ම බස් රථ ධාවනය කිරීමට සූදානම් බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

දුර ගමන් සේවා මේවන විට සීමා වී ඇති බවත් කෙටි ගමන් බස් රථද සීමාකිරීමට සිදුව ඇති බවත් පෙන්වා දුන් විජේරත්න මහතා දින දෙකකට වරක් බස් රථ ධාවනයට සිදුව ඇති බවත් බස් ගාස්තුව අසීමිතව ඉහළ දැමුවහොත් බරපතල ගැටලුවකට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් කියා සිටියා.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේ ශ්‍රී ලංගම බස්රථ වලට අවශ්‍ය ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් හිඟවීම හේතුවෙන් පොදු මගී ප්‍රවාහන සේවය ඇණහිටීමේ අවදානමකට ලක්ව ඇති බවයි.

බස්රථ ධාවනය කිරීමට අත්‍යාවශ්‍ය ටයර්, බැටරි සහ අමතර කොටස් නොමැති වීමෙන් බස්රථ 1000 කට ආසන්න ප්‍රමාණයක් මේ මොහොතේ ධාවනයෙන් ඉවත්වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් වෙළෙඳ පොලේ අධික ලෙස මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංගමයට එම අධික මිල දරා ගැනීමට නොහැකි වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා  ඇතුළු බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බවත් සේපාල ලියනගේ මහතා කියා සිටියා.

ඉන්ධන අර්බුදය උග්‍ර අතට පත්වී ඇති තත්ත්වයක් තුළ පොදු ජනතාවගේ සියලුම අවශ්‍යතා සඳහා ගමන්බිමන් යාමට ශ්‍රී ලංගමයේ බස්රථ භාවිතා කරන බැවින් අමතර කොටස් නොමැතිවීමෙන් මගී ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම ඇන හිටින තත්ත්වයක් උද්ගත විය හැකි බවද ඔහු සඳහන් කළා.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ නිර්දේශ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ඊයේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත භාර දී තිබෙනවා.

අවම ගාස්තුව 40යි

අදාළ නිර්දේශ වලට අනුව බස් ගාස්තු සියයට 20 කින් පමණ ඉහළ යන අතර, දැනට රුපියල් 32 ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 40 ට ආසන්න වනු ඇති බවයි වාර්තා වන්නේ.

බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව, සෑම වසරකම ජුලි 01 වනදා ගාස්තු සංශෝධන විය යුතුයි.

ඒ අනුව, ඇතැම් බස් සංගම් සියයට 30 කින් ගාස්තු සංශෝධයක් ඉල්ලා සිටියේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ මහාමාර්ග අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

පසුගිය වසරේ නොවැම්බර් 11 වනදා සිට මාස 7 ක් තුළ 5 වතාවක් සියයට 87 කින් පමණ ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, මෙවර ගාස්තු සකස් කිරිමේදි ජාතික ගමනා ගමන කොමිෂම එම කරුණු ද සලකා බලා ඇතැම් බස් සංගම් ඉල්ලා සිටි සියයට 30 ගාස්තු වැඩි විමක් ලබා නොදී, ඊට අඩු ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ දැමිමටයි තිරණය කර ඇත්තේ.