hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 29, ප.ව. 3:42



මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට “මරණ තර්ජන සිදු කිරීම” සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, එම සිදුවීම පිළිබඳ සිදු කළ විමර්ශනවලදී අදාළ නිලධාරීන්ට තර්ජනය කර ඇත්තේ එක ම දුරකතන අංකය භාවිතයෙන් බව අනාරවණය වූ බවයි.

එමෙන් ම, එම දුරකතන අංකය ගාල්ල දිස්ත්‍රික්කයේ ලිපිනයකට ලියාපදිංචි කර ඇතැයි අනාවරණය වූ බව ද ඔහු පැවසුවා.

කෙසේ වෙතත්, අදාළ ලිපිනයේ පදිංචිකරු මේ වන විට ලංකාවේ නොමැති බව ත් ඔහු මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව ත් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ ඇමතුම් යම් විදේශ රටක සිට ලැබෙන බවට නිරීක්ෂණය වී ඇති බවයි.

ඒ අනුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහය ලබා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි විමර්ශන සිදු කරන බව ඔහු පැවසුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මරණ තර්ජන ලද බවට පැමිණිල කළ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනාගේ ම නිවෙස්වලට මේ වන විට ආයුධ සහිතව පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බවයි.

කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු වන එස්.බී. දිවාරත්නට සහ කේ.පී.පී. පතිරණට මරණ තර්ජන එල්ල වී ඇති බවට ජන. 19 වන දා වාර්තා වූ අතර එම කොමිසමේ සාමාජිකයෙකු වන එම්.එම්. මොහොමඩ්ට ද එලෙස ම මරණ තර්ජන එල්ල වී තිබුණා.

මේ අතර, තම සාමාජිකයින්ට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් මෙන් ම, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස්කර දෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එමෙන් ම, මැතිවරණය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු රජයේ ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.