hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 3:39



පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසුගිය 4 වනදා සිදු වූ නවක වදය සිදුවීමක් රට තුල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කළා.

එම දර්ශනවල දැක්වුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආපනශාලාවක ආහාර ගනිමින් සිටි සිසු සිසුවියන් පිරිසකට තවත් සිසුන් පිරිසක් පහර දෙන ආකාරයයි.

ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපනය ලබන නවක වදයට පක්ෂපාතී සිසුන් පිරිසක් නීතී අධ්‍යන අංශයේ සිසුන් පිරිසකට මෙලෙස පහර දී තිබූ බවයි වාර්තා වුණේ.

“ඉඳුල් යනකන් අරූගෙ අත ලෙව කාපන්” – පේරාදෙණිය සරසවියේ නවක වධය දෙන වීඩියෝවක් ලීක් වෙයි (VIDEO)

මෙම සිදුවීමෙන් පසු ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය සහ නීති අධ්‍යන අංශයේ ශිෂ්‍ය කණ්ඩායම පීඨාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබුනේ මෙම ගැටළුවට නිශ්චිත විසඳුමක් ලබාගැනීම සඳහායි.

නමුත් අදාළ සාකච්ඡාව අවසන් වී පැය දෙකක් ගතවන්නටත් මත්තෙන් ගෙම්බා ආපන ශාලාව තුළදී එම නීති අධ්‍යන අංශයේ සිසු සිසුවියන්ට යළිත් පහර දීමක් සිදුව තිබුණා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමය සභාපති සචිනි වන්නිආරච්චි මෙසේ අදහස් දක්වා සිටියා,

“විශ්ව විද්‍යාලයේ නමට හානියක් වෙයි එහෙමත් නැත්නම් පීඨයට හානියක් වෙයි කියලා මම හිතන්නේ ඒ බයම තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයො මේවා එළියට ඇවිල්ලා කතා නොකරන්න හේතුව. නමුත් අපි මේවා එළියට ඇවිල්ලා කතා කරද්දී තමයි විශ්ව විද්‍යාලය හොඳ යහපත් තැනක් බවට පත් කර ගන්න පුළුවන්.”

ඒ අනුව මෙම පහරදීමට සම්බන්ධ ශාස්ත්‍ර පීඨයේ සිසුන් තිදෙනකුගේ පන්ති සති දෙකකට තහනම් කිරීමට සිය බලතල ප්‍රකාරව ශාස්ත්‍ර පීඨ පීඨාධිපති වරයා පියවර ගෙන තිබුණා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“තමන්ගේ දිවා ආහාරය ලබා ගැනීමට ඒ ආපනශාලාවට පැමිණියාම රැග් එකට පක්ෂපාතී ශිෂ්‍ය පිරිස මේ අයට අති අමානුෂික , නින්දිත විදියට පහර දෙනවා. මේ අයගේ කෑම පිගන් එලියට විසි කරනවා. මේක යන්තම් හරි සංවේදනාවක් තියෙන මනුස්සයෙකුට දරාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. මේ උගතුන් යැයි කියන පාදඩ ශිෂ්‍යයෝ වදක ශිෂ්‍යයෝ බිහි වුණේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක්. අධිපතිවාදී මත දරන දේශපාලන පක්ෂවල බලළ් අත් විදියට තමයි මේ ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ නායකයෝ ක්‍රියාත්මක වෙන්නේ. මේගොල්ලෝ කැට හොල්ලලා ඒ පක්ෂ පෝෂණය කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ නඩත්තු කරන්නේ ඒ පක්ෂ වලින්. ඒගොල්ලෝ උත්සහ කරනවා අර පලවෙනි අවුරුද්දේ නවක ශිෂ්‍යයෝ තමන්ගේ පක්ෂ වලට අනුගත කර ගන්න.”

“හුගක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ ශිෂ්‍යයන්ට දඩුවම් කරන්න යනකොට මේ ශිෂ්‍යයෝ තර්ජනය කරනවා පෞද්ගලිකව මට එහෙම කළා. මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මට වාචිකව මගේ මූණටම තර්ජනය කළා. 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැන්නූ අපිට තමුසේ කජ්ජක්ද කියලා. ඔන්න ඔය විදියට තමයි පීඨාධිපතිට තර්ජනය කළේ. එතකොට ආචාර්‍යවරුන්ට එහෙම කරනවා. සමහර අවස්ථාවලදී අපේ දේපළ, වාහන වලට හානි කරනවා. මේ අය ලග ආයුධ ඇති සමහර විට. ඔය දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෙලා. ඒ නිසා මිනී මරන්න පුළුවන් ඉදිරියේදී. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම යෝජනා කරනවා මේ අය බන්ධනාගාරගත කරලා පුනරුත්ථාපනය කරන්න.”