hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 31, පෙ.ව. 4:32



දඹුල්ල රත්මල්ගහඇල ප්‍රදේශ්යේ කුඹුරු යායකට හඳුනා නොගත් දළඹු වර්ග කීපයක් බෝවීම හේතුවෙන් පැල ගොයම  විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි ගොවීහු පවසනවා.

රාත්‍රී කාලයේ මෙන්ම සවස් කාලයේ, අලුයම් කාලයේ මෙම දළඹුවන් තම කුඹුරට පැමිණ සේනා දළඹුවන් ගොයම් පත්‍ර ආහාරයට ගැනීම බහුලව සිදු වෙන බව ඔවුහු පෙන්වා දෙනවා.

දඹුල්ල රත්මල්ගහඇල ප්‍රදේශයේ ගොවීන් කියා සිටින්නේ සේනා දළඹුවා නොව “මහසෝනා” පැමිණි ආකාරයට පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ගොයම් ගසේ පත්‍ර කා දැමීමට මෙම දළඹු විශේෂයට හැකියාවක් පවතින බවයි.

කොළ පාට, කහ පාට, දුඹුරු පාට කළු පාට විවිධ වර්ණ සහ හැඩයන් යටතේ මෙම දළඹුවන් බෝ වීම සිදුවන බවත් දිවා කාලය වන විට මෙම සතුන් සැගවී සිට රාත්‍රී කාලය වන විට සක්‍රිය වී පත්‍ර ආහාරයට ගන්නා බව ඔවුහු පවසනවා.

විශේෂයෙන් මෙම දරුණු දළඹු විශේෂය මර්දනය සඳහා ගොවීන් ඉන්දියාවෙන් ගෙන්වා ඇති කෘමි නාශක කුඩු වර්ගයක් ඉසිමින් තම වගාවන් බේරා ගැනීමේ සටනක යෙදී සිටිනවා.

එම කෘමි නාශකය ඉන්දියාවේ මිලෙන් ඉන්දියන් රුපියල් අසූවක් ලෙස සඳහන් කොට තිබුණද ලංකා වෙළඳපොලේ රුපියල් 580  මිලකට අලෙවි කරන බවද ගොවීන් පෙන්වා දෙනවා.

එම දළඹුවන් පිළිබඳව වෙළඳසැලට ගොස් ප්‍රකාශ කළ සැනින් ඉන්දියාවෙන් ගෙන ඇති මෙම කෘමි නාශකය අලෙවි කිරීම සිදු වන බව ද ගොවීන් පෙන්වා දෙනවා.

මෙම කෘමිනාශක වර්ගය කුමන ආකාරයෙන් මෙරට තුළට පැමිණෙනවා ද යන්න කිසිදු සහතිකයක් හෝ වගකීමක්   නොමැති අතර ඒවා නියාමනයකට ලක් වී ඇත්තේද එසේත් නොමැති නම් මෙරට පොළොවට ශාකවලට කෘමීන්ට කුමන හානියක් ගෙන දෙන්නේද යන්න කිසිවෙකුත් නොදන්නා බවද ගොවීහු පවසනවා.

දිගින් දිගටම සිදුවන මෙම දළඹු විනාශය නිසා ඇතැම් කුඹුරුවල පැළ ගොයම සම්පූර්ණයෙන්ම හාවන් කපා දැමුවා හා සමානව ගහ මුලටම කා දමා එම පණුවන්ගේ වසුරු කුඹුරු වල වැටී ඇති අයුරු ද ගොවීහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ හෝ වගකිව යුතු කිසිදු බලධාරියෙක්ගේ අවධානයක් යොමු වී නැති බව ද ආහාර අර්බුදයක් පවතින අවස්ථාවේ නිසා තමන් වෙළඳසැල්වල ගොස් මෙම දළඹුවන් ගැන දැනුම්දීමෙන් ඉන්දියාවෙන් ගෙන්වා ඇති මෙම කෘමිනාශක කුඩු වර්ගය ගොවීන් මිලදී ගන්නා බවද ඔවුහු පවසනවා.

කෙසේ වෙතත් මෙම දළඹු විශේෂ කිහිපය ව්‍යාප්ත වන්නට පෙර වහාම මේ පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුම් ලබා නොගත්හොත් ඉදිරියේදී ආහාර අර්බුදයට මෙම දළඹු විශේෂය විශාල බලපෑමක් ගෙනදෙන බව ගොවින් පෙන්වා දෙනවා.