hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 26, පෙ.ව. 11:00



ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍ර පිහිටි ස්ථානයට පෙරේදා (24) අලුයම කඩාවැදී බැංකු ආරක්ෂක නිලධාරියාව පුටුවක තබා ගැට ගසා රුපියල් 76 ලක්ෂයකට අධික මුදලක්ද සමඟ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය පැහැරගත් සන්නද්ධ කල්ලිය ගැන තොරතුරු රැසක් හෙළි කර ගැනීමට ගම්පොළ පොලිසිය සමත්ව තිබෙනවා.

පොලිස් කණ්ඩායම් 05ක් මේ කොල්ලකල්ලිය අත්අඩංගුවට ගැනීමට යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

කොල්ලකරුවන් පැමිණි වෑන් රථයේ රියැදුරුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හිටපු ගුවන් හමුදා සෙබළකු බව පොලිසිය කියයි.

මේ කොල්ලයට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට විමර්ශනාත්මක සාක්ෂි රැසක් පොලිසියට ලැබී ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ හේතුවෙන් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

මේ රියැදුරු අරණායක පදිංචිකරුවකු බවද එම නිලධාරියා සඳහන් කළා.

කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් පැමිණි සිව් දෙනකුගෙන් සමන්විත මේ කොල්ල කල්ලිය බැංකුවේ ඒ.ටී.එම් යන්ත්‍රය පිහිටි ස්ථානයට ඇතුළු වී විනාඩි 05ක් වැනි කෙටි කාලයක් තුළ බැංකු ආරක්ෂකයා ගැටගසා මුදල් තැන්පත් කරන යන්ත්‍රය මුදල්ද සමඟ පැහැරගෙන පලා ගොස් ඇති බව ආරක්ෂක කැමරා දර්ශනයේදී නිරීක්ෂණය වී තිබෙනවා.

කොල්ලකරුවන් සිය මුහුණු හඳුනා ගැනීමට නොහැකි වන ලෙස ආවරණය කරගෙන මේ කොල්ලයට පැමිණ ඇති බව පොලිසිය කියයි.

එහෙත් ඔවුන් හැඳ සිටි ඇඳුම්, හැසිරීම් ආදියෙන් කොල්ලකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ ඒ තුළින් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

ගම්පොළ නගරයේ නුවර වීදියේ පිහිටි මේ පෞද්ගලික බැංකුව ආසන්නයේම තවත් බැංකු දෙකක් ඇති බවත් එම බැංකු දෙකේද ආරක්ෂක නිලධාරීන්ද මේ අවස්ථාවේදී සිට ඇති බව පොලිසිය කියයි.

කොල්ලකරුවන් පැමිණි වෑන් රථය බැංකුව ඉදිරිපිට හරස් අතට නතර කර බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍ර පිහිටි කුටියට ඇතුළු වී ගිනි අවියක් එල්ල කර ආරක්ෂක නිලධාරියාව බිය ගන්වා ඔහුව පුටුවක තබා ගැට ගසා ඇත්තේ හිසට පිස්තෝලයක් එල්ල කරමින්.

අනතුරුව ඔවුන් මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය වෙත ගොස් එය සොලවා එය බිමට සවිවන සේ සවි කර ඇති ඇණවලින් යන්ත්‍රය නිදහස් කරගෙන යන්ත්‍රය ඔසවාගෙන ගොස් වෑන් රථයේ පටවාගෙන එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.

මේ කිසිවක් අසල බැංකු ආරක්ෂකයන් දැක නැත.

ඒ කොල්ලකරුවන් වෑන් රථය හරස් කර නවතා තිබුණු බැවින්.

කොල්ලකරුවන් පලා ගිය පසු ගැටගසා තිබුණු රැහැන් ගලවාගත් ආරක්ෂක නිලධාරියා බැංකුවේ සවිකර ඇති අනතුරු ඇඟයීමේ නලාව නාද කර ඇතැයි පොලිසිය කියයි.

බැංකු ආරක්ෂකයා වෑන් රථයේ අංකයද මතකයේ තබාගෙන සිට එය පොලිසියට ලබාදී තිබෙනවා

මේ කොල්ලයෙන් පැය 04කට පමණ පසුව මෙම වෑන් රථය පේරාදෙණිය ගලහා මංසන්ධියේ අතහැර කොල්ලකල්ලිය පලාගොස් ඇති බවද පොලිසිය කියයි.

පේරාදෙණිය පොලිසියට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයෙන් ලද තොරතුරකට අනුව එම වෑන් රථය සොයාගෙන තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරු ලබාදුන් පුද්ගලයා පවසා ඇත්තේ පේරාදෙණිය ගලහා හන්දියේ වෑන් රථයක් නතර කර ඇති බවත් ඒ අසල දෑස් සහ දෑත් ගැටගැසූ පුද්ගලයකු සිටින බවත්ය.

ඒ අනුව පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් එම පුද්ගලයාව සිය භාරයට ගැනීමට පියවරගෙන තිබෙනවා.

මේ වෑන් රථය පොලිසියේ කෙටි කලක් සේවය කළ පොලිස් නිලධාරියකුට අයත් එකක් බවයත් අරණායක පදිංචිකරුවකු වන ඔහු මේ වන විට අරණායක පැත්තේ බේකරියක් පවත්වාගෙන යමින් සිටින බව පොලිසිය කියයි.

බැංකුවේ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය කොල්ලකෑමෙන් පසුව දෙල්තොටට පැමිණ තමාව වෑන් රථයේ නංවා වෑන් රථය සමඟ අතහැර ගිය බවට හැඟවෙන කථාවක් ඔහු පොලිසිය හමුවේ එසේ පවසා තිබෙනවා.

දෑස් බැඳ තිබුණු බැවින් ස්ථාන ගැන පැහැදිලි මතකයක් නැති බවද රියැදුරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.

මේ කථාව රියැදුරු විසින් ගොතන ලද කථාවක් බව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී පොලිසියට පෙනී යෑම නිසා ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ප්‍රශ්න කිරීම් හමුවේ තවත් බොහෝ දේවල් හෙළිවී ඇති බවත් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඒ ගැන තොරතුරු හෙළි කිරීම විමර්ශනයට බාධාවක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.