hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 13, පෙ.ව. 12:04



විදුලිය නිෂ්පාදනය කරණු ලබන ජලාශ සියල්ලම පාහේ පිරීයමින් පවතින මොහොතක විදුලිබල මණ්ඩලය දැවැන්ත වංචාවක්, සිදුකරමින් ජනතාව ගසා කමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ වත්මන් ජන පීඩක ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විදුලි බිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට, ජීවන වියදම උග්‍ර කිරීමට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව උත්තර ලංකා සභාගය විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයක දීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී මෙසේ පැවසුවා.

“විදුලි බිල නැවත වතාවක් වැඩි වෙලා. ආණ්ඩුව කියනවා ඒ පිරිවැය විදුලි පාරිභෝගිකයා දැරිය යුතුයි. වියදම වැඩි වුනොත් අපි ඒක පාරිභෝගිකයගෙන් අය කරනවා. අපිට ඒකට විසඳුමක් නැහැ කියලා. මිත්‍රවරුනේ විදුලි බිලෙහි පිරිවැය විදුලි පාරිභෝගිකයා දැරිය යුතු කියන එක අපි පිළිගන්නවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නෙ මොකක්ද?  විදුලිබල මන්ඩලයේ නාස්තිය පාරිභෝගිකයාගේ කරමත පටවනවාට අපි විරුද්ධයි. විදුලිබල මණ්ඩලයේ තිබෙන දූෂණය පාරිභෝගිකයාගේ කරමත පටවනවාට අපි විරුද්ධයි. ප්‍රතිපත්තිමය තීන්දු‍වල වරදින් විදුලි මිල ඉහළ යෑමේ ආදීනවය  පාරිභෝගිකයාගේ කර මත පටවනවා අපි විරුද්ධයි.  ඒ වගේම බොරු තක්කඩි ගණනය කිරීම්වලින් හදා ගන්නා ඉලක්කම් වලින් එන බරපැන පාරිභෝගිකයා මත පටවන අපි විරුද්ධයි.  දුප්පත් කෙනා වෙත වැඩි විදුලි බිලක් දාලා පෝසතාගේ  විදුලි මිලත් දුප්පතාගෙන් අය කරගන්නවටත් අපි විරුද්ධයි. ඒ නිසා තමයි අපිට විදුලිබිල ගැන ආරෝවක් තියෙන්නේ.

පසුගිය කාලෙ කිව්වෙ මාස හයෙන් හයට විදුලි බිල වැඩි කරනවා කියලයි. එහෙම කිව්ව ආණ්ඩුව පසුගිය මාස දෙකේ පෑවිල්ල, ඩීසල්වලින් විදුලිය හදන්න වුනා, ඒ නිසා අපිට යළි වැඩි කරන්න ඕනි කියලා තමයි මේ ගිය මාස දෙකේ වැඩි කරේ. පෑව්ව බවත් ඇත්තයි. ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කරන්න ගිහිල්ලා පාඩුපිට විදුලි නිෂ්පාදනය කළ බවත් ඇත්තයි. හැබැයි මේ වෙනවිට ඒ පායපු මාස දෙකට හරියන්ඩ පැල් බැඳගෙන වහිනවා.

ඊයේ දිනයේ වන විට, නොවැම්බර් 10 වෙනවිට ලංකාවේ ප්‍රධාන විදුලි ජලාශ පහේ තත්වය ගත්තොත් මොක්කද තත්වය.  මම සංඛ්‍යාලේඛන ටික ගෙනාවා. කාසල්රි 99% ක් පිරිලා. මාවුස්සා කැලේ 94%යි. සමනලවැව 90%යි. කොත්මලේ  80 %යි. ඉදිරි  සති දෙක තුළ මේ සියලු ජලාශ පිරිලා ඉතිරිලා යනවා. එහෙමනං ඒ වෙච්ච පාඩුව මේ වෙනකොට අල්ලලා ඉවරයි. එහෙමනං මොකටද මේ බිල වැඩි උනේ.  සාමාන්‍යයෙන් දවසකට අපිට විදුලිය අවශ්‍ය වෙනවා ගිගා වොට් පැය 44ක් – 50ක් අතර.  මේ දවස්වල වහිනවා.  වහිනකොට ෆෑන් අවශ්‍ය නෑ. වායු සමීකරණ දාන්නේ නෑ.  ගිගා වොට් පැය 44 ක් විතර තමයි සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ.  හැබැයි පහුගිය කාලේ ආර්ථික අර්බුද එක්ක මේ මිල වැඩි කිරීම  දරාගන්න බැරුව ජනතාවට  දැන් මේ දවස් වල දවසකට විදුලි ඉල්ලුම තියෙන්නෙ ගිගා වොට් පැය 40 – 41 අතර. ඊයෙ දවසෙ ජලාශ සහ ආශිත ප්‍රදේශවලට කඩා වැටුණු වර්ශාවෙන් ජලාශවලට එකතුවුණු ජලයෙන් විතරක් ගිගා වොට් පැය 48ක් හදන්න පුළුවන්.

මේ දවස් වල මේ ජලයේ නිෂ්පාදනය නිසාම ඊයේ දවසෙෙ සංඛ්‍යාලේඛන බැලුවා මේ ඩීසල් වගේ තාප විදුලි බලාගාර වලින් විදුලි නිෂ්පාදනය කර තියෙන්නේ සමස්ථ අවශ්‍යතායෙන් 23%යි. එහෙම නම්  මේ තාප විදුලි ජනනයට යන වියදම ආවරණය කරන්න කියලා පහුගිය ඔක්තෝම්බර් මාසේ විදුලි බිල වැඩි කිරීම තක්කඩි කමක්, වංචාවක්, බොරුවක් ජනතාව ගසා කෑම කියන එක අපි බය නැතුව කියනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: