hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 පෙබරවාරි 09, පෙ.ව. 9:37



දැනට තිබෙන ගල්අඟුරු සංචිත ප්‍රමාණවත් වන්නේ ලබන මාර්තු 06 වැනිදා දක්වා පමණක් බැවින් සැලසුම් කර තිබෙන පරිදි ඉතිරි ගල්අඟුරු නෞකා 21, අප්‍රේල් මසට පෙර ගොඩබාගත නොහැකි වුවහොත් විදුලි කප්පාදුව දරුණු වී යා හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ අනතුරු අඟවනවා.

ලබන අප්‍රේල් 15 ට පමණ පෙර මෙම වසරට අවශ්‍ය ගල්අඟුරු නෞකා 21 ක් නොරොච්චෝල, ලක්විජය ගල්අඟුරු බලාගාරයට ලබාගැනීම දැඩි අභියෝගයක් වී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙනවා.

විදුලිබල මණ්ඩලය මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බැවින් මෙරටට පැමිණ තිබෙන දොළොස්වන ගල්අඟුරු නෞකාවට (මෙට්‍රික්‌ ටොන් 60,000) මුදල් ගෙවීමට නොහැකි වී තිබෙනවා. එහෙත් මෙම නෞකාව ඇතුළු තවත් නෞකා හයක් සඳහා සියයට තිහ බැගින් අත්තිකාරම් ගෙවා තිබෙන බවයි ඉංජිනේරුවන් කියා සිටියේ.

මෙරටට පැමිණ තිබෙන නෞකාවේ අඩංගු ගල්අඟුරු ගොඩබාගත නොහැකි වුවහොත් ඒ සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බවයි ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ.

එක් නැවක් ප්‍රමාද වුවහොත් ඉදිරියේ දී මෙරටට පැමිණීමට නියමිත සෙසු නෞකා සඳහා ද ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීමේ අවදානමක් මතුවන බවද ඔහු සඳහන් කළා.

මෙම වසරේදී නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය (මෙගාවොට් 900) සඳහා මෙටි්‍රක් ටොන් 60,000 බැගින් වූ ගල්අඟුරු නෞකා වාර 33 ක් ගෙනඒමට සැලසුම් කර තිබෙනවා. දැනට ඉන් ගොඩබා ඇත්තේ නැව්වාර 11 ක්.

දොළොස්වන නෞකාව මෙරටට පැමිණ තිබුණත් ඒ සඳහා ගෙවිය යුතු ඉතිරි සියයට හැත්තෑවක මුදල් ලැබී නැතැයි ද දැනට සංචිත ප්‍රමාණවත් වන්නේ මාර්තු 06 දක්වා පමණකැයි ද ඒ මහතා පැවසුවා.

විදුලිබල මණ්ඩලයට කළ දැනුම්දීමට අනුව ගල්අඟුරු සඳහා ගෙවිය යුතු මුදල් සෙවීමට සාකච්ඡා සිදුවන බවත් දැනට මෙරටට පැමිණ තිබෙන නෞකාව ගොඩබාගෙන මෙම ක්‍රියාවලිය කරගෙන ගියහොත් විදුලි අර්බුදය වළක්වා ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: