hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 2:45



මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව සයිබර් මාධ්‍ය සාමූහිකය විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මෙම පනත් කෙටුම්පත සාකච්ඡාවට පවා භාජනය නොකර විසිකර දමන ලෙසයි ඔවුන් කියා සිටියේ.

රට දැවැන්ත ආර්ථික සමාජයීය දේශපාලන පරිහානියක ඇති බවත් අරගලය එයින් මිදෙනු පිණිස බවත් පවසන සයිබර් මාධ්‍ය සාමූහිකය ආණ්ඩුව ඒවා ගැන අවධානය යොමු නොකොට මාධ්‍ය මර්ධනයට කටයුතු කරන බවත් පෙන්වා දුන්නා.

ප්‍රභූ දේශපාලනය පෙර පරිදි ගෙන යාමට සමාජ මාධ්‍ය වේදිකා අවහිරයක් ව ඇති නිසා සෘජුව ජනතා විරෝධය සමාජ මාධ්‍ය හරහා එල්ලවීම ඔවුන්ට වදයක් වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ආණ්ඩුවට රටේ මූලික අයිතිවාසිකම් අභියෝගයට ලක් කෙරෙන පනත් ගෙන ඒමට නෛතික සහ ආචාර ධාර්මික අයිතියක් නොමැති බව ඔවුන් පෙන්වා දුන්නා.

මෙය ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක් බවත් යම් පනත් ගෙන ඒමට නම් සුජාත ජන බලයක් ලබා ගන්නා ලෙසත් ඔවුන් කියා සිටියා.

ආණ්ඩුව මෙලෙස සමාජ මාධ්‍ය නියාමනයකට සැරසෙන්නේ නම් සයිබර් මාධ්‍ය සමූහිකය වශයෙන් මෙම පනතට සහාය දෙන සියළුම දේශපාලකයින්ගේ පුවත් වාරණය කිරීමට මැදිහත්වන බවත් ඔවුන් කියා සිටියා.

කෙසේ වෙතත් ජනපතිවරයා ලෝකයට මාධ්‍ය නිදහස ගැන කියමින් රටට මාධ්‍ය නිදහස අහිමි කරන බවත් ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදය ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ බවත් කියන එම සාමූහිකය වහාම මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පිළිබඳ පනත් කෙටුම්පත අකුලා ගන්නා ලෙසත් එසේ නොවන්නේනම් නොවන්නේ නම් එය පරාජය කිරීමට සියලු සමාජ වේදිකා සංවිධානය කරන බවත් අවසාන වශයෙන් කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවට සයිබර් මාධ්‍ය සාමුහිකයේ විධායක කමිටු සාමාජික සඳුන් ප්‍රියංකර විතානගේ, නුවන් හෙට්ටිආරච්චි, ලංකා ඩී ජයවර්ධන, මමිත් දිසානායක අදහස් දැක්වූවා.