hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 09, ප.ව. 1:55



මිනිස් පරිභෝජනයට නුසුදුසු අපද්‍රව්‍ය සහිත පොල් තෙල් තොග විශාල වශයෙන් මෙරටට ආනයනය කර ගබඩා කර ඇතැයි පාරම්පරික පොල්තෙල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කුරුණෑගල පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළා.

තම සංගමය විසින් දිගින් දිගටම වගකිව යුත්තන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කළද නිලධාරි පැළැන්තිය ඊට ඇහුම්කන් නොදුන් බවත්, ජාවාරමෙන් ලැබෙන කොමිස් කුට්ටිය ගැන සලකා ඔවුන් මෙසේ අපද්‍රව්‍ය සහිත පොල් තෙල් මේ රටට ආනයනය කිරීමට ඉඩදී සිටින බවටද එම සංගමය චෝදනා කළා.

ඉන්දියාව හා අසල්වැසි රටවලින් ඉතාමත් අඩු  මුදලකට මෙරටට ගෙන්වන මෙම පොල්තෙල් ඒ ඒ රටවල භාවිතයෙන් පසුව ඉවත් කරන ඒවා බවටද ඔවුහු පෙන්වා දෙති. එම මාධ්‍ය හමුවේදී තවදුරටත් කරුණු පැහැදිලි කළ බුද්ධික ද සිල්වා මෙසේද කියා සිටියා.

“අපි පසුගිය සැප්තැම්බර් මාසයේදී රජයෙන් ඉල්ලීමක් කළා පොල් ගෙඩි වශයෙන් අපනයනය කරන එක වහාම නවතා දමන ලෙස. නමුත් වගකිව යුතු නිලධාරීන් කිසිවෙක් ඊට එකඟතාව පළ කළේ නැහැ. පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඒකට පිළිතුරක් ලෙස කීවේ රට සංවර්ධනය කරන්න ඩොලර් ඕනි ඒ නිසා මේ පොල් අපනයනය කිරීම නවතන්න බෑ කියලා. හැබැයි එහෙම කරලත් පොල්වලින් එක ඩොලර් එකක්වත් මේ අයට රජයට හම්බ කරල දෙන්න බැරි වුණා.

ඒ විතරක් නොවෙයි අපි මේකට පිළියමක් විදිහට තමයි ආහාරය සඳහා පොල් තෙල් ආනයනය කරන ආනයනකරුවන්ට දීල තියෙන බදු සහන අයින් කරන්න කියලා ඉල්ලීමක් කළෙත්. අපේ රට පොල් තෙල්වලින් ස්වයංපෝෂිත රටක්. ඒ නිසා අපිට විදේශවලින් පොල් තෙල් ආනයනය කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ආනයනකරුවන් බදු සහන යටතේ මේ රටට ගේන්නේ විදේශ රටවල භාවිතයෙන් පසු ඉවත් කරන අපද්‍රව්‍ය සහිත පොල් තෙල්. මේව පරීක්‍ෂා කරන්න කිසිම ආයතනයක් ලංකාවේ නෑ. අපි කරුණු සහිතව පෙන්වා දුන්නත් ඒවා පිළිගන්න කෙනෙක් නෑ. නමුත් අද අපිට හම්බවෙලා තියෙනවා රජයේ ගබඩාවකින් ගත්තු මේ විදිහට ආනයනය කළ අපිරිසිදු පොල් තෙල් සාම්පල. මේවා මිනිස් පරිභෝජනයට කිසිසේත් නුසුදුසු ඒවා බව තමයි අපි තරයේ කියා සිටින්නේ.”