hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 04, පෙ.ව. 6:37



මිනිස් පරිභෝජනයට නුසුදුසු කෑම පිසීමට ගන්නා කල් ඉකුත් වූ තෙල් රේගුවේ නිලධාරින්ගේ සහායෙන් පිටතට ගෙන රටපුරා විකිණූ බව කියන ජාවාරමක් ගැන විශේෂ විමර්ශනයක් ඇරඹී තිබෙනවා.

මෙම විමර්ශනය ඇරඹී ඇත්තේ ජර්මනියේ නිෂ්පාදිත බව පවසමින් රැගෙන ආ කැනෝලා වර්ගයේ කෑම පිසීමට යොදාගන්නා තෙල් ලීටර් 51,600 ක් සඟවා තිබූ තෙල් ගබඩාවක් රිදිගමින් හමුවීමෙන් පසුවයි.

රිදිගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලද තොරතුරක් මත රිදිගම, පානගමුව, අන්නුර්පුර පිහිටි පොල්තෙල් ගබඩාවක් වටලා මේවා අත්අඩංගුවට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර​ ගෙන තිබෙනවා.

පානගමුව, අන්නුර්පුර අංක 130 ඒ දරන ස්ථානය වටලා ඉල්ලියාස් මොහොමඩ් නමැති ව්‍යාපාරිකයකු සමග මෙම තෙල් තොගය භාරයට ගෙන තිබේ. තෙල් ගබඩාව තුළ ලීටර් දහය බැගින් වූ කෑන් 5160 ක් තිබී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම තෙල් ගබඩාව භාර ව්‍යාපාරිකයා පවසා ඇත්තේ මෙය සබන් නිෂ්පාදනය සඳහා රැගෙන යෑමට නියමිතව තිබූ බවයි.

වරායෙන් මෙම තෙල් කෑන් අඩංගු කන්ටේනර් තුනක් රැගෙන ආ බව මෙම ව්‍යාපාරිකයා පෙන්වා දී ඇතත් කිසිදු පිළිගත හැකි ලේඛනයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව වැටලීම කළ නිලධාරීහු පවසනවා.

මෙහි තිබූ ලීටර් දහයේ බෝතලයක් රුපියල් නවදහස් නවසිය අනූනවයකට (9,999) මිල කර විදෙස් රටකින්ම ලේබලය ගසා රැගෙන විත් ඇතැයි විමර්ශකයන් පවසනවා.

එම තෙල් කෑන්වල ඉහළින් කල් ඉකුත්වන දිනය සඳහන්ව ඇති බව සටහන් කර ඇතත් එහි එවැනි දිනයක් තිබී නොමැත. භාණ්ඩ මිලදී ගත් බව සඳහන් බිලක්වත් ව්‍යාපාරිකයා සතුව තිබී නොමැත.

මෙහි ආනයනකරු හා බෙදාහරින්නා ලෙස සවුත් පැසිෆික් ඒජන්සිස් නමැති ඉහළ බෝමිරිය, කඩුවෙල ලිපිනයක් තෙල් කෑන්වල සටහන් කර තිබූ බව වැටලීම කළ නිලධාරීහු පවසනවා.

මේ අනුව තෙල් ගබඩාවට මුද්‍රා තබා සාම්පල් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට රම්බඩගල්ල අධිකරණය උපදෙස් ලබා දී තිබෙනවා.