hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 09, පෙ.ව. 8:38



පවතින කාලගුණික තත්ත්වය මත අද (09) දිනයේ සියළුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකළ විමසීමෙන් අනතුරුවයි.

දිවයින පුරා වායු තත්ත්ව පරීක්ෂණ ස්ථාන 60ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ රජයේ ආයතන සහ විශ්වවිද්‍යාල කිහිපයක් සමඟ එක්ව ඒ සඳහා කටයුතු කරන බවයි.

දශකයකට පමණ පසු මෙරට වායුගෝලයේ වැඩිම දූවිලි අංශු ප්‍රමාණය ඊයේ වාර්තා වූ අතර, මැන්ඩවුස් සුලි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු මෙරටට ගලා ඒම ඊට හේතු වී තිබුණා.

කෙසේ වෙතත් කාලගුණ අංශ ප්‍රකාශ කළේ පවතින දූවිලි අංශු අද සිට අඩුවිය හැකි බවයි.

දිල්ලි අගනුවර සිට කිලෝමීටර් 1,500ක් පමණ දුරින් පිහිටි කොළඹ නගරයේ ද දක්නට ලැබුණේ දිල්ලි හා සමාන තත්ත්වයක්.

යම් ප්‍රදේශයක වායු ගුණ තත්ත්ව දර්ශකයේ 0 සිට 50 දක්වා දැක්වෙනවා නම් එය යහපත් වායු තත්ත්වයක් ලෙසත් ඉන් ඉහළ අගයන් පෙන්නුම් කරන්නේ නම් එය දූෂිත වූ වායු තත්ත්වයක් ලෙසත් සැලකෙනවා.

යම් හෙයකින් එය වායු ගුණ තත්ත්ව දර්ශකයේ 151 ඉක්මවන්නේ නම් එය ප්‍රබල අයහපත් වායූ දූෂණ තත්ත්වයක් ලෙස සැලකෙනවා.

දිවයිනේ තවත් ප්‍රධාන නගර කිහිපයක අද උදෑසන කාලයේ වායු දූෂණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අද උදෑසන 8ට නිකුත් කළ වාර්තාවට අනුව මෙරට වැඩි වශයෙන්ම වායු දූෂණයට ලක්වී තිබුණේ කොළඹ නගරයයි.

එහි වායු ගුණ තත්ත්ව දර්ශකයේ අගය 246ක් ලෙස සටහන්ව තිබු අතර දෙවනුවට වායු ගුණ තත්ත්ව දර්ශකයේ අගය 237ක් ලෙස මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

වව්නියාව දිස්ත්‍රික්කයේ අගය 229ක් වන විට යාපනය දිස්ත්‍රක්කයේ 226ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 214ක් ලෙස සටහන්වුණා. 

වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව කළුතර දිස්ත්‍රික්කයේ 186ක් ලෙසත්, රත්නපුර 166ක්, කෑගල්ල 163ක්, පොළොන්නරුව 160ක්, බදුල්ල 154ක් සහ මහනුවර 151 ලෙස සටහන්වී තිබුණා.