hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 03, පෙ.ව. 10:36



ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ඉතා ඉහළ වාණිජ වටිනාකමින් යුත් ඉඩම් අතයට ගනුදෙනු හරහා කුණු කොල්ලයට විකුණා දමමින් සිටින බව ජාතික නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා වෘත්තීය සමිතිය පෙන්වා දෙනවා.

රජයේ ඉඩම් සංවර්ධනය කොට ව්‍යාපෘති සඳහා ලබා දීම මූලික අරමුණ කරගත් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වත්මන් පාලනාධිකාරිය එම කටයුත්ත පසෙක තබා මෙම අතයට ගනුදෙනු සිදුකරන බවයි ඔවුන් චෝදනා කරන්නේ.

2019ට පෙර පැවති යහපාලන ආණ්ඩුව සමයේ සංස්ථාව සතු මුතුරාජවෙල සහ නාරාහෙන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි ඉතා ඉහළ වාණිජ වටිනාකමින් යුත් ඉඩම් කොටස් විකුණා දැමීමට සැරසෙන විට එය වළක්වා ගැනීමට සංස්ථා සේවක සහයෝගය සහිතව සිය වෘත්තීය සමිතියට හැකියාව ලැබුණු බව ඔවුන් පවසනවා.

රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත්ව පවත්වාගෙන යාමේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තිය පෙරදැරිකරගත් පාලනයක් යටතේ සංස්ථාව සතු මුතුරාජවෙල ඉඩම් කීපයක් විකිණීමට පියවර ගැනීම කනගාටුවට කරුණක් බව යි එම සමිතිය පෙන්වා දෙන්නේ.

ඉහත කී මුතුරාජවෙල ඉඩම් කොටස් ලිට්‍රෝ ගෑස් සමාගමට විකුණා දැමීමේදී අතයට ගනුදෙනු සිදුව ඇති බවටත් තක්සේරු වටිනාකම නොලැබී ඇති බවටත් එම වෘත්තීය සමිතිය චෝදනා කරනවා.

සංස්ථාව සතු නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි ඉතා ඉහළ වාණිජ වටිනාකමින් යුත් ඉඩම් විකුණා දැමීමට එරෙහිව සංස්ථා සේවක පිරිස් සම්බන්ධ කරගනිමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.