hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 07, පෙ.ව. 8:41



දකුණු ආසියාවේ උසම කුලුන වන නෙළුම් කුලුනේ පිහිටා තිබෙන කැරකෙන අවන්හල මේ මස 09 වැනිදා විවෘත කෙරෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවසුවා.

මෙම අවන්හල දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටා තිබෙන එකම කැරකෙන අවන්හල බවත්, මෙම අවන්හල ආරම්භ කිරීම සංචාරක ක්ෂේත්‍රයේ වැඩිදියුණුවට ද බලපාන බවත් ඇමැතිවරයා සඳහන් කළා.

නෙළුම් කුලුනේ 27 වන මහලේ පිහිටා තිබෙන කැරකෙන අවහන්හල මහජනතාවට විවෘත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා එහි ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ද සහභාගි වුණා.

මෙම අවන්හල මේ මස 09 වැනිදා පස්වරු 7.30 ට විවෘත කිරීමට නියමිතය.

නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම සහ සිට්‍රස් සමාගම එක්ව මෙම කැරකෙන අවන්හල පවත්වාගෙන යන බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවා.

නෙළුම් කුලුන ව්‍යාපෘතිය බොහෝ දෙනකු සුදු අලියෙකු ලෙස හඳුන්වනු ලැබූවද, කුලුනේ සෑම කොටසකටම අද වනවිට බොහෝ ආයතන විසින් බදු ගිවිසුම් අත්සන් කර ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර සිටියා.

මෙම අවන්හලෙන් උපයන ලාභයෙන් සියයට 80 ක් නෙළුම් කුලුන කළමනාකරණ සමාගමටද, ඉතිරි සියයට 20 සිට්‍රස් සමාගමටද ලැබෙන පරිදි ක්‍රියාත්මක වේ. මෙම කැරකෙන අවන්හල පවත්වාගෙන යෑම සඳහා නෙළුම් කුලුන කළමනාකරණ සමාගම විසින් රුපියල් මිලියන 220 ක මුදලක් ආයෝජනය කර තිබෙන බව එම සමාගමේ වැඩ බලන සභාපති ප්‍රියන්ත රත්නායක මහතා සඳහන් කළා.

මෙම අවන්හල තුළ එකවර 225 දෙනකුට ආහාර ගැනීමේ හැකියාව පවතින බවත්, රජයේ බදු ද ඇතුළත්ව එක් අයෙකුට ආහාර වේලක් රුපියල් 7,900 සිට ලබා ගැනීමේ හැකියාව පවතින බවත් සිට්‍රස් ආයතනයේ විධායක අධ්‍යක්ෂක චන්දන තල්වත්තේ මහතා පැවසුවා.

පෙරවරු 11 සිට පස්වරු 3.30 දක්වා දිවා ආහාරයද, පස්වරු 6.30 සිට රාත්‍රි 11.30 දක්වා රාත්‍රි ආහාරයද මෙම කැරකෙන අවන්හල තුළින් ලබාගත හැකි බවද විධායක අධ්‍යක්ෂවරයා කියා සිටියා.

එමෙන්ම, නෙළුම් කුලුන තුළම තවත් ශාලාවක උත්සව ශාලාවක් පවත්වාගෙන යාමටද සිට්‍රස් ආයතනය කටයුතු කරන බවද ඔහු පැවසුවා.