2026 ජූලි 23, ප.ව. 2:07
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ශ්‍රී ලංකාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 715ක (රුපියල් බිලියන 214.7ක) දැවැන්ත මුදලක් නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමේ සිද්ධිය පිටුපස ඩුබායි කේන්ද්‍ර කරගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් විශුද්ධිකරණ ජාලයක් ක්‍රියාත්මක වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව (COPF) හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා විසින් මේ බව හෙළි කරනු ලැබුවා.
සමාගම් 105ක් සහ බැංකු ගිණුම් 227ක් භාවිත කරමින් ව්‍යාජ ඉන්වොයිසි හරහා සිදුකර ඇති මෙම මහා පරිමාණ ජාවාරම, හුදෙක් බදු වංචාවක් පමණක් නොව මත්ද්‍රව්‍යවලින් උපයාගත් අයුතු ධනය විශුද්ධිකරණය කිරීමේ ක්‍රියාවලියක් බව විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා.
ජාත්‍යන්තර පොලීසියේ (INTERPOL) සහාය ඇතිව ඩුබායි හි සිට මෙරටට ගෙන්වා ගත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා සිටි පරිදි, භාණ්ඩ ආනයනය කරන බව පවසමින් විදේශ රටවලට මුදල් යොමු කළද කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙන්වා නොමැති බවට ශ්‍රී ලංකා රේගුව විසින් 2026 ජනවාරි 20, පෙබරවාරි 23 සහ මාර්තු 06 යන දිනයන්හිදී පොලිස්පතිවරයා වෙත වාර්තා තුනක් ඉදිරිපත් කර තිබුණා.
එම වාර්තාව අනුව, සමාගම් 105ක් ඒකට සම්බන්ධ වී තිබූ අතර, එම සමාගම් 105 ට අදාළව රුපියල් බිලියන 214.7ක්, දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 715ක ටීටී විදිහට මුදල් ප්‍රමාණයක් විදේශගත කර තිබෙනවා.
එම විදේශගත කළ මුදල්වලට කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙනැවිත් නොමැති බව එම වාර්තාව තුළ සඳහන් වනවා.
2023 ජනවාරි 01 සිට 2026 මාර්තු දක්වා කාලය තුළ ටීටී (Telegraphic Transfer) 24,300කට ආසන්න සංඛ්‍යාවක් මගින් ඩොලර් මිලියන 715ක් පිටරට යවා තිබෙනවා.
මෙම ජාලයට සම්බන්ධ එකම පුද්ගලයෙකු සමාගම් 43ක අයිතිකරු ලෙස පෙනී සිටිමින් ඩොලර් මිලියන 43ක මුදලක් ටීටී තාක්ෂණය ඔස්සේ විදේශගත කර ඇති බවත්, ඔහු දැනට අත්අඩංගුවේ පසුවන බවත් අනාවරණය වුණා.
ඔහුගේ කාමරයේ තිබූ පරිගණක මගින් ව්‍යාජ ඉන්වොයිසි (Invoices) සහ කූඨ රේගු ලේඛන සකස් කර ඇති අතර, සමහර බැංකු නිලධාරීන්ගේද සහාය ඇතිව මෙම මුදල් ප්‍රේක්ෂණය සිදු කර තිබෙනවා.
ඩුබායි හි සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ලංකාවේ එකතු වන මුදල්, තැරැව්කරුවන් හරහා ලබාගෙන තැරැව්කාර කොමිස් මුදලක් තබා ගනිමින් මෙම ජාවාරම මෙහෙයවා තිබෙනවා.
මීට අමතරව කැලණිය කොට්ඨාසයෙන්ද මෙවැනිම සිදුවීමක් වාර්තා වී ඇති බවත්, ත්‍රීවීල් රථයක් පරීක්ෂා කිරීමේදී හමු වූ රුපියල් මිලියන 30ක මුදලක් පිළිබඳ කළ විමර්ශනයේදී, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු විසින් මෙහෙයවූ සමාගමක් මගින් ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් සහ පෞද්ගලික බැංකු දෙකක් යොදාගනිමින් තවත් ඩොලර් මිලියන 40කට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශගත කර ඇති බව හෙළි වී තිබූ බවත් එම නිලධාරීන් අනාවරණය කළා.
2026 ජූලි 23, ප.ව. 2:32
2026 ජූලි 23, ප.ව. 1:39
2026 ජූලි 23, පෙ.ව. 9:38
2026 ජූලි 23, පෙ.ව. 12:19
2026 ජූලි 23, පෙ.ව. 12:18