hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 13, ප.ව. 1:04



බෝර්න් අගේන් ආගමික කල්ලියක බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේ දී දැඩි බලපෑමක් ඇති වීමට ඉඩ ඇති බවට නිරීක්ෂණය වන බවත් ඒ හේතුවෙන් අදාල කරුණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්වීමට පත් කළ පංච පුද්ගල විශේෂ පරීක්ෂණ කමිටුවේ නිර්දේශය වී තිබෙනවා.

අදාල කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ගෙන් හා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ලබාගත් සාක්ෂි හා නිරීක්ෂණ මත පදනම්ව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් හා ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් යන අයගෙන් සැදුම්ලත් විශේෂ පරීක්ෂණ කමිටුව විසින් අදාල නිර්දේශය නිකුත් කර තිබෙනවා.

මෙහි දී භානුක රාජපක්ෂ නමැති ක්‍රීඩකයා උපතින්ම බුද්ධාගම වැලඳගෙන සිටියදත්, 2015 අවසාන භාගයේ සිට බෝර්න් අගේන් ආගමේ අනුගාමිකයෙක් බවට පරිවර්තනය වී ඇති බවත් නිරීක්ෂණය වී ඇති නමුත් ඇතැම් ක්‍රීඩකයන් තම අනාගතයට යම් බලපෑමක් වෙතැයි යන බිය මත මීට අදාළව සාක්ෂි දීමෙන් වැළකී සිට ඇතැයි ද එම මණ්ඩලය නිකුත් කළ වාර්තා වේ සඳහන් බව ජාතික පුවත්පතක් ඊයේ (12) වාර්තා කළා.

එහි දී එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් අතර බෝර්න් අගේන් ආගම වැලඳගත් අය සිටින බවත් බෝර්න් අගේන් ආගමික නායක ප්‍රොෆර්ට් ජෙරොම් විසින් සිය අනුගාමිකයන් වැඩිකර ගැනීමට විවිධාකාරයේ උපක්‍රම යොදන බවත් පත් කළ කමිටුව විසින් අනාවරණය වී ඇති බවයි.

එසේම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බෝර්න් අගේන් අනුගාමිකයන් සංඛ්‍යාව සම්බන්ධව සත්‍ය කරුණු වසන් කරමින් සාක්ෂි ලබාදෙන බවත් බෝර්න් අගේන් ආගමේ ෆාස්ටර් ටෙරී නම් අයෙකු චාමික කරුණාරත්න නැමති ක්‍රීඩකයාව මුණගැසී බෝර්න් අගේන් ආගමේ වැදගත්කම පවසා තිබූ බවත් එම පරීක්ෂණ මණ්ඩලයට නිරීක්ෂණය වී ඇති බවත් එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුදල් ක්‍රිකට් ක්‍රීඩාව උසස් තත්ත්වයට පත් කිරීම වෙනුවට එහි නිලධාරීන් තම පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදාගෙන ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙනවා.

ඒ අනුව, 2022 ලෝක කුසලාන ටී. 20 ලෝක කුසලානයට අදාළ සංචාරක ආදායම් සහ වියදම් පිළිබඳව වහා ම ස්වාධීන විගණනයක් සිදුකළ යුතු බව ත් ඊට පෙර අදාළ ලේඛන වෙනස් කිරීමට හෝ සැඟවීම වැළැක්වීමට පියවර ගත යුතු බවට එම වාර්තාව නිර්දේශ කර තිබෙනවා.

අරමුදල් අවභාවිත කළ අයට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන අනුව මුදල් වංචා කිරීම හා සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා යටතේ කටයුතු කළ යුතු බව ද එහි සඳහන් කර තිබෙනවා.

ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන් ප්‍රමිතිගත කළ යුතු අතර කැසිනෝ ශාලාවලට යාම සහ සමාජ මාධ්‍ය භාවිතයට දැඩි නීති පැනවිය යුතු බව ත් ඒවා කඩ කරන අයට දැඩි දඬුවම් ලබා දිය යුතු බව ත් වාර්තාවේ සඳහන් වෙනවා.

විදේශ සංචාරවලදී ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු රැගෙන යාමට නැවතත් අවසර ලබා දිය යුතු බව ත් ඒ හරහා ක්‍රීඩකයන්ට මානසික සහනය මෙන්ම රාත්‍රි කාලයේදී ගමන් බිමන්වලින් ද වළකිනු ඇතැයි කමිටුව නිර්දේශ කර තිබෙනවා.

මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පැවසුවේ ක්‍රීඩා පනතින් තමාට පැවරී ඇති බලතල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ සඳහා ගත යුතු තීන්දු සම්බන්ධයෙන් වූ යෝජනා ජාතික ක්‍රීඩා සභාවට ඉදිරිපත් කර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවා.