hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 9:31



සීදූව, වෑත්තෑව, නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්, උන්වහන්සේ වැඩ සිටි කුටිය තුළ ම අපවත් වී සිටියදී ඊයේ (14) පස්වරුවේ සොයා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, උන්වහන්සේගේ අපවත් වීම ඝාතනයක් බවට සැක කරන බවයි.

එලෙස අපවත් වී ඇත්තේ, 50 හැවිරිදි වියේ පසු වූ නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති නැඩගමුවේ මහානාම හිමි බව ඔහු පැවසුවා.

අදාළ විහාරස්ථානයේ උන්වහන්සේ සහ තව ත් වයස අවුරුදු 18ක හිමි නමක් වාසය කර ඇතැයි මේ දක්වා සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඊයේ දිනයේ පන්සල වසා තබා ඇති අතර පන්සල දෙසින් දුර්ඝන්ධයක් පැමිණෙන බවට ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලකට අනුව සීදූව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂා කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එහිදී විහාරාධිපති හිමි වැඩ සිටින කුටිය අගුළු දමා ඇති බවට ත් ඒ තුළින් දැඩි දුර්ඝන්ධයක් නිකුත් වෙන බවට ත් පොලිස් නිලධාරීන් හඳුනා ගෙන ඇති බවයි.

ඒ අනුව, කුටියේ දොරගුළු කඩා ඒ තුළට ගොස් පරීක්ෂා කිරීමේදී විහාරාධිපති හිමි ඇඳ මත අපවත් වී සිටියදී හමු වී තිබෙනවා.

උන්වහන්සේගේ මුහුණ නොපෙනන සේ රෙදිවලින් ඔතා, සිරුර සිවුරුවලින් ආවරණය කර තිබී ඇතැයි එහිදී නිරීක්ෂණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, දේහය ඉදිමී ඇති බවට නිරීක්ෂණය වී ඇති හෙයින් එම මරණය දින කිහිපයකට ඉහතදී සිදුවී ඇතැයි සැක කරන බවයි.

විහාරාධිපති හිමියන්ගේ අපවත් වීම ඝාතනයක් යැයි සැක කරන බව ඔහු පැවසුවා.

විහාරස්ථානයේ වැඩ වාසය කළ අනෙක් හිමි නම ඊයේ දිනයේ ත් එහි වාසය කර තිබුණ ද, මේ වන විට උන්වහන්සේ විහාරස්ථානයේ නොමැති බවට හඳුනා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළා.

එමෙන්ම විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක්, වැගන් ආර් රථයක් අදාළ සිදුවීමෙන් පසු මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තා වෙනවා.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය මීගමුව රෝහල වෙතත් යොමු කෙරෙන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය මීගමුව මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවයි.