hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 28, පෙ.ව. 11:11



සති හතරක් තුළදී නාදුනන තුවක්කුකරුවන් කළ දහ වැනි මිනිස් ඝාතනය පෑලියගොඩින් වාර්තා වෙනවා.

මේ අනුව ජූනි 26 වෙනිදා මිද්දෙණිය හා පෑලියගොඩ පොලිස් වසම් තුළ සිදු වූ නමවැනි සහ දහවැනි මිනිස් ඝාතනය ලෙස එම සිද්ධීන් දෙක පොලිස් වාර්තා වල සඳහන් වෙනවා.

නාදුනන තුවක්කුකරුවන් විසින් සිදුකළ නව වැනි මිනිස් ඝාතනය මිද්දෙනිය පොලිස් වසමෙන් වාර්තා වූ අතර මිද්දෙණිය ප්‍රදේශයේ මල්ශාලා හිමිකරුවෙක් නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

ඇඹිලිපිටිය, මිද්දෙනිය මාර්ගයේ තෝරාගත් කොලයාය ප්‍රදේශයේ දී ඉකුත් 26 වැනිදා මෙම සිදුවීම වාර්තා වුණා.

වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය මල්ශාලා හිමිකරු වන අන්දුබදු කුරුදුපටබැදිගේ මංජුලසිරි නැමැති 52 හැවිරිදි අයෙක්.

මිද්දෙනිය මාර්ගයේ පිහිටි සිය මල් ශාලාවට පැමිණි මොහොතේ දී නාදුනන තුවක්කුකරුවන් ඔහු වෙඩි තබා ඝාතනය කර තිබුණා.

වෑන් රියකින් හෝ යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතත් එය තහවුරු කරගැනීම සඳහා සීසීටීවී කැමරා පරික්ෂා කරමින් සිටින බව මිද්දෙණිය පොලිසිය පවසයි.

මේ අතර පෑලියගොඩ, දුම්රියපොළ පාර පට්ටිය හන්දියේදී එදිනම (26) පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා.

මෙලෙස වෙඩි තබා මරා දමා තිබුණේ මිනුවන්ගොඩ පදිංචි තිස් දෙහැවිරිදි අයෙක්.

පොලිස් අත්තනායක නමින් කුප්‍රකට මොහු හිටපු පොලිස් නිලධාරියෙක්.

ඔහු අවසන් වරට කදාන පොලිසියේ සේවය කර තිබෙනවා.

වැඩ තහනමකට ලක්ව සිටි ඔහු මත්කුඩු ජාවාරමේ නිරතව සිටි අයෙකු බවද වාර්තා වෙනවා.

තවත් සිද්ධීන් රැසකට මොහු සම්බන්ධ බව පොලිසිය පවසනවා.

මරණකරු සිය බිරිද හා අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියක පැමිණි නාඳුනන නාදුනන තුවක්කුකරුවන් ඔහුට වෙඩි තබා තිබෙනවා.

මෙහි දී යතුරු පැදිය පැදවූ තැනැත්තාද එන්ම ඔහුගේ දෙහැවිරිදි දරුවා ද තුවාල ලබා තිබෙනවා.

මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් ද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලත් පැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ද ඔහු මිය ගොස් සිටි අතර තුවාල ලැබූ දෙහැවිරිදි දරුවා ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කැලණිය පොලිස් වසමේ සිදු වූ තුන්වන මිනිස් ඝාතනය මේ වන අතර මේ වන තුරුත් සිද්ධියට සම්බන්ධ කිසිදු තුවක්කුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී නැහැ.

සීසීටීවී කැමරා ආධාරයෙන් ඝාතකයන් හඳුනා ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙනවා.

වත්තල , ඇලකන්ද ප්‍රදේශයේදී කාය වර්ධන ආයතනයකට පැමිණි නිවස බලා යමින් සිටි අයකු මීට සති දෙකකට පෙර නාදුනන නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා මරා දැමුණු අතර ඉකුත් සතියේ පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේදී පලතුරු වෙළෙන්දකු ඝාතනය කර තිබුණා.

ඉකුත් මැයි 30 වෙනිදා පිටකොටුව, බැස්ටියන් මාවත ප්‍රදේශයේ දී නාදුනන තුවක්කුකරුවන් විසින් පළමු මිනිස් ඝාතනය සිදු කළ අතර ජූනි 3 වැනිදා පානදුරේ හා අලුත්ගමදීත් ජුනි 4 අහංගමදීත් ජුනි 5 තංගල්ලේදීත් ජුනි 6 මෝදරදීත් ජුනි 14 වත්තලදීත් ජූනි 21 පෑලියගොඩදීත් මෙලෙස පුද්ගලයන් අට දෙනෙකු වෙඩි තබා මරා දමා තිබෙනවා.