hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූලි 08, පෙ.ව. 6:53



ප්‍රවාහන කටයුතු සදහා ලංගම සේවකයන්ට ඉන්ධන නොමැති වීම විශාල අර්බුදයක් බවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

ලංගම වෘත්තීය සමිතිය පවසන්නේ රාජකාරියට වාර්තා කිරීම සදහා අවශ්‍ය ඉන්ධන ලබා නොදුන්නහොත් අද (08) දහවල් 12.00 සිට වර්ජනයකට අවතීර්ණ වන බවයි.

ඊයේ දිනයේදීත් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරුණු අතර, උදෑසන මෙන්ම පස්වරුවේද දුම්රිය ධාවනය කෙරුණේ ප්‍රමාදයන් සහිතවයි.

ඒ, රාජකාරියට පැමිණෙන දුම්රිය සේවකයින්ට ඉන්ධන ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් නොකිරීමට විරෝධය පළ කරමින් දුම්රිය නියාමකවරුන්, ධාවනාගාර සේවකයින් ඇතුළු දුම්රිය සේවකයින් රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන්.

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් දුම්රිය මූලස්ථානයේ ගේට්ටුවද අවහිර කරමින් ඊයේ දහවල් විරෝධතාවයේ නිරත වූ අතර, එහිදී විරෝධතාකරුවන් දුම්රිය මූලස්ථානයේ ගේට්ටුව අඟුළු දැමීමට කටයුතු කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීයාට මූලස්ථානයෙන් පිටතට යෑමට නොහැකි වන ලෙසයි.

කෙසේ වෙතත්, ඊයේ පස්වරුවේ දුම්රිය සේවකයින්ට ඉන්ධන ලබා දීමට කටයුතු කිරීමත් සමඟ සේවකයින් යළි සේවයට වාර්තා කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

එහෙත්, දුම්රිය ධාවනයේදී ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.