hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 මාර්තු 05, පෙ.ව. 12:02



අද (05) සහ 06, 07 යන දිනයන්හි පාර්ලිමේන්තුව පැවැත්වෙනවා.

නමුත් 08 වැනි සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවේ.

ඒ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව හෙට පෙ.ව 09.30ට පාර්ලිමේන්තුව රැස් වෙනවා.

එදින පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන්ව ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වන අතර අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 4.30 දක්වා පසුගිය පෙබරවාරි 20 වනදා දෙවන වර කියවීමේ විවාදයට ගෙන කල්තබන ලද සුරක්ෂිත ලත් ගනුදෙනු, භාර ලදුපත් (සංශෝධන), උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, දේශීය භාර ලදුපත් (සංශෝධන), සමාගම් (සංශෝධන) සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවන දිනටත් විවාදයට ගෙන මීළඟ දිනට කල්තැබීමට නියමිතව තිබෙනවා.

පසුව ප.ව 4.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට තීරණය කර ඇත.

මාර්තු 6 වන බදාදා පෙ.ව 9.30 – පෙ.ව 10.00 කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සඳහා ද පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර තිබෙනවා.

එදින පෙ.ව 10.30ට පමණ, අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ දැනට පවතින 2024.02.03 දිනැති අංක 2369/58 දරන ගැසට් පත්‍රය කල් ඉකුත්වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව ගැසට් පත්‍රයේ සඳහන් නියමය ද එදින විවාදයකින් තොරව අනුමත කරගැනීමට නියමිතයි.

පසුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා, පෙර දින විවාදයට ගන්නා ලද සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත් (සංශෝධන), උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, දේශීය භාර ලදුපත් (සංශෝධන), සමාගම් (සංශෝධන) සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් තෙවන දිනටත් විවාදයට ‍ගැනීමට නියමිතයි.

එදින සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත් (දෙවන වර කියවීම) විවාදයට ගැනීමට ද තීරණය කර ඇත.

පසුව ධීවර අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත සීනෝර් පදනම, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි වාර්ෂික වාර්තා ත්‍රිත්වයකට අදාළ යෝජනාවන් විවාද කිරීමෙන් තොරව අනුමත කරගැනීමට ද තීරණය වී ඇති අතර ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.

මාර්තු 7 වන බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් වී තිබෙනවා.

පසුව ආණ්ඩු පාර්ශ්වය සහ විපක්ෂය විසින් ඒකාබද්ධව ගෙනෙන යෝජනාවක් ලෙස “වනජීවීන් හේතුවෙන් සිදුවන වගා හානිය” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට ද තීරණය වී ඇති බව සඳහන් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: