hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:08



ලොව පුරා හින්දු බැතිමතුන් අද (24) දීපවාලි දිනය සමරනු ලබනවා.

ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපවාලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙනවා.

නව සඳ උදාවීමට සමගාමීව යෙදෙන දීපවාලි උත්සවය අයහපත පරදා යහපතත්, අඳුර පරදා අලෝකය උදාවීමත් සංකේතවත් කෙරෙනවා.

මෙවර දීපවාලි උත්සවය සැමරීම සඳහා මෙරට හින්දු ජනතාව මෙන්ම වතුකරයේ ජනතාව ද යම් මට්ටමක උනන්දුවක් දක්වන බව ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අතර උතුරේ හින්දු බැතිමතුන් විසින් හිරු දෙවියන් වෙනුවෙන් සිදු කෙරන දේව පූජාව ඇතුලු ආගමික වතාවත් අද (24) දින උදෑසන සිට සිදු කරනු ලැබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

උතුරු පලාතේ පිහිටි හින්දු කෝවිල් වෙතට උදෑසනම පැමිණි හින්දු ජනතාව දීපාවලිය වෙනුවෙන් හිරු දෙවියන් නැමද ප්‍රධාන දේව මෙහෙයන්ට සහභාගී වී තිබෙනවා.

හිරු දෙවියන්ට පහන් දැල්වීම නොහොත් අඳුර මකා ආලේකය ලැබීම, නරක පරදා යහපත ජයග්‍රහනය කිරීම මෙන්ම සුර අසුර යුද්දයේදී අසුරයින් පරදා සුරයින් ජයග්‍රහනය කිරීම යනාදිය අදට යෙදී ඇති දීපාවලිය සැමරීම හින්දු බැතිමතුන් විසින් සිදු කරයි.

මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් වර්ෂාව ලැබී ගොවිතැන් කටයුතු සාර්ථක වේවායි යන්නද හින්දු බැතිමතුන් වසින් දිපාවලි දිනයේදී හිරු දෙවියන්ට පුද පූජා පවත්වමින් ආගමික වතාවත් සිදු කරනු ලැබෙනවා.

මේ අතර දීපවාලි උත්සවයේ වතුකරයේ ප්‍රධාන ආගමික උත්සවය හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලයාර් හින්දු කොවිලේ ප්‍රධාන කුරුක්කල් බ්‍රහ්ම ශ්‍රි චන්ද්‍රානන්ද කුරුක්කල්ගේ ප්‍රධානත්වයෙන් එම හින්දු කොවිලේදි පැවැත්වුවා.

අද (24) උදෑසන පැවති ආගමික වතාවන් වලට වතුකරයේ හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වි සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

දිපවාලි උත්සවය හේතුවෙන් අද (24) නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම මත්පැන් අලෙවි වසා දැමිමට සුරාබදු කොමසාරිස්වරයා විසින් උපදෙස් නිකුත් කර තිබු අතර, දිපවාලි උත්සවය නිමිත්තෙන් දමිල සිසු සිසුවියන් අධ්‍යාපනය ලබන පාසල් වලට අවශ්‍යතාවය සලකා හෙට (25) දින නිවාඩු ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් මේ මස (29) දින පාසල් පැවැත්විය යුතු බව මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.එන්.රණසිංහ මහතා සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට චක්‍රලේකණයක් මගින් දැනුම් දි තිබෙනවා.

අද (24) දිනට යෙදි ඇති දිපවාලි උත්සවය නිමිත්තෙන් ඊයේ (23) දින රාත්‍රිය වන තුරු හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගරවලට හින්දු ජනතාව විශාල වශයෙන් පැමිණ සිටි අයුරු අප ඒෂියන් මිරර් වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.

හැටන් – රංජිත් රාජපක්ෂ / වන්නි – රොමේෂ් මධුෂංඛ