hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 16, පෙ.ව. 10:59



ප්‍රභූ පුද්ගලයන් බවට හැඟවෙන ස්ටිකර් ඉදිරිපස අලවා දහවල් කාලයේ විදුලි ආලෝක සංඥා දල්වා ගෙන බොරැල්ල ප්‍රදේශයේ ධාවනය කළ ඩිෆෙන්ඩර් රථ ඇතුළු සුඛෝපභෝගී වාහන 6ක් සමඟ තරුණයන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය සඳහන් කරනවා.

පසුව එම තරුණයන් පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

ප්‍රභූ වාහන සහ ආරක්ෂක අංශ යොදා ගන්නා ආලෝක සංඥා භාවිතා කරමින් ඩිෆෙන්ඩර් රථ 6ක් රාජගිරිය සිට ඩි.එස්.සේනානායක පෙදෙස හරහා බොරැල්ල දෙසට එක පෙලට ධාවනය වන බවට නාගරික රථවාහන අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නාමල් පුෂ්පකුමාර මහතාට ලද තොරතුරු කොට අනුව බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් එම පිරිස අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් ප්‍රභූන් නොවන පුද්ගලයන් බවට අනාවරණය වී තිබෙනවා.

ඔහු බොරැල්ල කුරුඳුවත්ත අවට ප්‍රදේශවල පදිංචි කෝටිපති ව්‍යාපාරිකයන්ගේ පුතුන් බවත් ඔවුන් වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන්නන් බව පොලීසිය සඳහන් කරනවා.

ප්‍රභූ ස්ටිකර් සහ ආලෝක සංඥා භාවිතා කළ හැක්කේ ප්‍රභූ පිරිසට සහ ආරක්ෂක අංශ වලට පමණක් බවත් ඒවා සාමාන්‍ය වැසියන්ට භාවිතා කිරීම තහනම් කර තිබියදී මෙම පුද්ගලයන් ඒවා භාවිතා කරමින් සාමාන්‍ය වැසියන්ට මාර්ගය අවහිර වන පරිදි කටයුතු කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වාහනවල සවිකර තිබූ ප්‍රභූ ස්ටිකර් සහ සහ ආලෝක සංඥා ඇතුළු අනෙකුත් අමතර උපාංග සියල්ල ගලවා දැමීමට කටයුතු කළ බවත් වාහන වල චැසි හා එන්ජින් අංක නියමිත පරිදි ඒවා දැයි පරික්ෂා කර එම පුද්ගලයන්ට ලබා දීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ඒෂියන් මිරර් වෙත පැවැසුවා.

බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.