hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 01, ප.ව. 1:54



කඩදාසි මෙන් ම අමුද්‍රව්‍යවල පවතින උග්‍ර හිඟය නිසා රජයේ ගැසට් පත්‍ර, පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා ඇතුළු එදිනෙදා සිදුකෙරෙන මුද්‍රණ කටයුතු සියල්ල කරගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ගැසට් පත්‍ර ඇතුළු රජයට අදාළ අනෙකුත් මුද්‍රණ කටයුතුවලදී මුද්‍රණය කරනු ලබන පිටපත් ප්‍රමාණය මේ නිසා අඩු කර මුද්‍රණය කරන ලෙසටත් මුද්‍රණ වියදම් හැකිතාක් සීමා කරන ලෙසටත් උපදෙස් ලැබී ඇති බව ද දැනගන්නට තිබෙනවා.

රජයේ මුද්‍රණාලයට අවශ්‍ය කඩදාසි, මුද්‍රණ කටයුතු සඳහා භාවිත කරන තීන්ත, ප්ලේට් ආදිය මිලදී ගැනීමේ අපහසුතාව මෙම තත්ත්වයට ප්‍රධාන වී ඇති අතර සැපයුම්කරුවන් විවිධ මිල ගණන් ඉදිරිපත් කිරීමත් නිසා බරපතළ තත්ත්වයක් මෙසේ නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මුද්‍රණ යන්ත්‍ර සඳහා අවශ්‍ය අමතර උපකරණ විවෘත වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට නොමැති වීම නිසා හදිසි නඩත්තු කටයුතු සිදුකර ගැනීමට ද නොහැකි තත්ත්වයක් පවතින බව ද දැනගන්නට තිබෙනවා.

මෙම තත්ත්වය මත ඉදිරියේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේදී ගැටලු රැසකට මුහුණ පෑමට අනිවාර්යයෙන් ම සිදුවන බව රජයේ මුද්‍රණාලයීය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය ගැසට් මගින් තහනම් කර ඇති අතර එම භාණ්ඩ ලැයිස්තුවෙහි මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ යද ඇතුළත්ව ඇති බැවින් මෙම තත්ත්වය මගහැරවීමට කඩිනම් විසඳුමක් ඇති නොවුවහොත් මුද්‍රණාලයේ කටයුතු ඇනහිටීම හරහා මුද්‍රණාලය වසාදැමීමට සිදුවීමේ අවදානමක් පවතින බව ද වාර්තා වෙනවා.

එසේ ම පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේදී මැතිවරණ කොමිෂන් සභාව මගින් සිදු කළ යුතු මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හා තීන්ත වර්ග නොමැතිවීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති අතර ඡන්ද විමසීම සඳහා වැය කළ යුතු වියදම් අනපේක්ෂිත අන්දමට ඉහළ යාම නිසා ඉතිහාසයේ මෙතෙක් වැය නොවූ අති විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මෙම තත්ත්වය සියලු ම මුද්‍රණකරුවන්ට බලපා ඇති බව මුද්‍රණකරුවෝ පවසති.