hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 02, ප.ව. 4:48



මේ වන විට රට පුරා ක්‍රියාත්මක අපරාධ රැල්ල හා මත් කුඩු, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා කඩිනම් පියවර ගන්නැයි මල්වතු අස්ගිරි මහානාහිමිවරු දෙපොළ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලා සිටියා.  

වැඩ බලන පොලිස්පතිවරයා අද (02) මහනුවරට පැමිණ ප්‍රථමයෙන් දළදා මාලිගාවේදී දළදා සමිඳු වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ඒ මහතා මල්වතු මහා විහාර පාර්ශවැයී මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ මෙන්ම අනු නාහිමි පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි බැහැදැක ආශිර්වාද ලබාගත්තා.                                            

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය වැඩ බලන පොලිස්පතිවරයා අස්ගිරි මහ නාහිමි අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය මුරුද් දෙනියේ ධම්මරතන  හිමියෝ ද සහභාගී වූවා.                                                                     

මෙහිදී මල්වතු අස්ගිරි නාහිමිවරුන් මෙන්ම අනුනාහිමියන් ද වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ වර්තමානයේ ක්‍රියාත්මක අපරාධ රැල්ල මෙන්ම මත්කුඩු ජාවාරම් මැඩලා පාට පක්ෂ හා ජාති කිසිදු භේදයකින් තොරව සැමට එක ලෙස නීතිය ක්‍රීයාත්මක කරන ලෙසයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා මෙතෙක් සිදු කළ සේවාවන් අගය කළ මහනාහිමිවරු ඒ මහතාට ඉදිරි කටයුතු සාර්ථකව කර ගැනීම සඳහා ආශිර්වාද සිදු කළා.                                                              

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළ වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේ මේ වන විට රටේ ජනතාවට හිසරදයක්ව පවතින අපරාධ රැල්ල මෙන්ම මත්කුඩු ජාවාරම් මැඩලා ජාතික ආරක්ෂාවට මුල්තැන දී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.