hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 06, පෙ.ව. 11:20



කෙටි කලක් රෝගාතුරව සිටි ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් ඊයේ උදෑසන මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ට්‍රොලියෙන් වැටී අසාධ්‍යව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව දිඹුලාගල ශාසනාරක්ෂක බල මණ්ඩලය සඳහන් කරනවා.

දිඹුලාගල නාහිමියන් මේ වන විට පොළොන්නරු මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අත්තනකඩවල ජනතා ලංකාර නාහිමියෝ සඳහන් කරනවා.

මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී දීපාල් අසංක මහතා නිවාඩු ලබා ගොස් සිටියදී මේ සිදුවී ඇති බවත් මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ඒ මොහොතේ සේවයේ නියුතු සේවකයන්ගේ නොසැලකිලිමත්කමින් නාහිමියෝ ට්‍රොලියෙන් වැටී තුවාල ලබා අසාධ්‍යව රෝහල්ගත කරන්නට සිදුව ඇති බවත් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අත්තනකඩවල ජනතා ලංකාර නාහිමියෝ චෝදනා කරනවා.

මේ සිද්ධියෙන් පසුව එහි සේවකයන් දෙදෙනෙකු තමන් වහන්සේ ගෙන් සමාව ඉල්ලා සිටි බවත් මනම්පිටිය මේ රෝහලේ ඇතැම් සේවකයන් රෝහලට ප්‍රතිකාර ලැබීමට පැමිණෙන රෝගීන් පිළිබඳව නොසැලකිලිමත්ව ඔවුන් රාජකාරියේ නිරත වන මොහොතේ ජංගම දුරකථන භාවිතා කරමින් සමාජ ජාල භාවිතා කරන නිසා රෝගීන් මෙවැනි තත්ත්වයන්ට ලක්වන බවද ජනතාලංකාර නාහිමියෝ සඳහන් කරනවා.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි නව වැනිදා පොලොන්නරුව මහ රෝහලටත්, ඉන් අනතුරුව ජනවාරි 26 වැනිදා නුවර මහ රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

පසුව ඉකුත් තුන්වැනිදා නුවර මහ රෝහලෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට රැගෙන ඒමෙන් පසු දිඹුලාගල නාහිමියෝ ඊයේ උදෑසන මනම්පිටිය ප්‍රාදේශීය රෝහල්ට ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ අනතුරට මුහුණ දුන්නා.

මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි දීපාල් අසංක මහතා සඳහන් කළේ මේ තත්ත්වය පිළිබඳ දැඩි අවධානය යොමු කර පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවත් තමන් නිවාඩු ලබා ගොස් සිටියදී මෙවැනි තත්ත්වයක් සිදු වීම කනගාටුවට කරුණක් බවයි.