hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 16, පෙ.ව. 9:49



අබිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් වෙනුවෙන් රක්‍ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස දන්වමින් ෆෙයා ෆස්ට් හා ජනශක්ති රක්ෂණ සමාගමට පසුගිය නඩු වාරයේදී කළ නියෝගය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (15) ඉවත් කළා.

අදාළ පාර්ශව වෙත රක්ෂණ මුදල් ගෙවීම අත්හිටුවීමට තවදුරටත් අවශ්‍ය නැතැයි අධිකරණයට හැඟී යන බැවින් එම නියෝගය ඉවත් කරන බව ද මහේස්ත්‍රාත්වරිය පැවසුවා.

එම වන්දි මුදල් ලබා ගැනීමට වෙනත් කිසිදු පාර්ශවයක් උත්සහ ගන්නා බවට කරුණු හෙළිවී නැති බව ද මහේස්ත්‍රාත්වරිය පැවසුවා.

ෂාෆ්ටර් මහතාගේ මරණය අපරාධයක් බවට තහවුරු වී ඇති බැවින් ඒ පිළිබඳව කෙරෙන විමර්ශන කටයුතු සඳහා සහය දැක්වීමක් ලෙස සතියක කාලයක් යනතෙක් අදාළ අයට එම රක්ෂණ වන්දි මුදල් ගෙවීම අත්හිටුවීමට ඉහත සඳහන් රක්ෂණ සමාගම්වල බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය එම වන්දි ප්‍රතිලාභ නොගෙවන ලෙස ඉහත කී සමාගම්වලට පසුගිය නඩු වාරයේදී නියෝග කර තිබිණ.

බොරැල්ල පොදු සුසාන භූමිය අසලදී සිදුවූ අබිරහස් සිද්ධියක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ෂාෆ්ටර් මහතා ඉකුත් වසරේ දෙසැම්බර් මස 16 දින මියගොස් තිබිණ.

මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් එම පවුලේ ඥාතීන් බොරැල්ල පොලිසියට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම මරණය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවක්ද පත් කර තිබිණ.

ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට සැක කළ හැකි බව එම විද්වත් වෛද්‍ය කමිටුව පසුගිය දා අධිකරණයට සිය වාර්තාව මගින් දැනුම් දීම හේතුවෙන් මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණ.

අධිකරණයේ නියෝග අනුව නැවත ගොඩගෙන කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබූ ෂාෆ්ටර් මහතාගේ දේහය ඉකුත් 4 දින ජාවත්ත පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරිණ.