hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 26, පෙ.ව. 8:56



ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්නර් මහතාගේ ගේ අභිරහස් මරණයේ විමර්ශන නව පැතිකඩක ට යොමු කරමින් ඔහු විසින් සිදුකරගත් සියදිවි නසාගැනීමක් දැයි? සැකය මේ වන විට විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

එලෙසම සභාපතිවරයා සිය නැන්දම්මාට (බිරිඳගේ මවට) ලියන ලද ලිපියක් කෙරෙහිද විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමුවී ඇති අතර “මේ වගේ හොඳ දුවක් හදලා මට ලබාදුන් අම්මාට බොහොම ස්තුතියි” ආදී වශයෙන් හැඟීම්බර අදහස් අඩංගු කර ලියන ලද ලිපියක් සම්බන්ධයෙන් සහ ඇයට යවන ලද එම අදහස් ද සහිත කෙටි පණිවිඩයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා විමර්ශකයන්ගේ අවධානයද යොමු වී තිබෙන බව වාර්තා වනවා.

දිනේශ් ශාෆ්නර් මහතා ගමන් ගත් මෝටර් රථයේ කිසිවෙකු ගමන් නොකළ බවට සක් සුදක් සේ සි සි ටි වි දර්ශන වල පැහැදිලි සාක්කි ඇතත්, එහි තිබූ කිසියම් දෙයක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියකු පැවසුවා.

ඉකුත් 15 වෙනිදා දිනේශ් ශාෆ්නර් මහතා බිරිඳ සමග එංගලන්තය බලා යාමට හෝරා කිහිපයක් තිබියදී බොරැල්ල සුසාන භූමියේ මෝටර් රථය තුළ ඔහුගේ දෙඅත් පටියකින් බැඳි තිබූ අතර ගෙල වයරයකින් සිරවී තිබියදී විධායක නිලධාරී වරයෙකු සුසාන භූමියේ සේවකයෙකුගේ සහයෙන් රෝහල් ගත කරනු ලැබුවා.

අනතුරුව එදිනම පැය පහයි කාලකට පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඔහු ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ මෝටර් රථය ස්ථානගත කර තිබූ ස්ථානය පිළිබඳ විමර්ශකයන්ගේ අවධානය දැඩිව යොමුවී ඇති අතර සුසාන භූමියේ අනාථ පැත්තේ යැයි හඳුන්වන එම ප්‍රදේශය පැති තුනකින් ආවරණය වන ස්ථානයක් බවට හඳුනාගෙන තිබෙනවා.

සමාගම් කීපයක හිමිකරුවකු වන දිනේෂ් ශාෆ්නර් මහතා සිදුකරන ලද ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළ ද එකී මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔවුගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතැයි ද නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් කෝටි 300 ක් පමණ වටිනා ඉඩමක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබීමත්, යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධවී සිදු කළ ව්‍යාපාරයකට ආයෝජන කළ කෝටි 85 ක මුදලක් නැවත ඔහු වෙත නොලැබීමත්, ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා වෙත ලබා දුන් රුපියල් කෝටි 160 ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය සහ තවත් කෝටි ගණනාවක ව්‍යාපාරික ගනුදෙනු වලින් රුපියල් කෝටි 2000 පමණ ඔහුට පාඩු සිදුවී ඇති බවද පවුලේ සමීපතමයන්ගේ ප්‍රකාශවලින් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

තවද ඔහු පදිංචිව සිටින කුරුඳුවත්ත මල් පාර නිවස විකිණීම සඳහා පුවත්පතක දැන්වීම් පළ කර තිබූ බවත් පවුලේ සමීපතමයන් ගේ ප්‍රකාශවලින් ද අනාවරණය වෙමින් පවතිනවා.

දිනේෂ් ශාෆ්නර්ගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් ඒ වන විට පවුලේ සමීපතමයන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් 70කින් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර සීසීටීවී දර්ශන 70 ක පමණ දර්ශන පරීක්ෂාවට ලක් කර ඇතැයි ද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය පරීක්ෂණ පවත්වනවා.