hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 10:42



රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ලබන දෙසැම්බර් 31 දායින් පසු විශේෂඥ වෛද්‍යවරු 300 දෙනෙකු පමණ විශ්‍රාම යන බවත් මේ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල අර්බුදයකට මුහුණ දෙන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එක් දිනක් තුළ විශේෂඥ වෛද්‍යවරුන් වැඩි ම පිරිසක් විශ්‍රාම ගන්නා දිනය දෙසැම්බර් 31 වනදා වනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ අස්සනින් යුතුව නිකුත් කොට ඇති නිවේදනයක සඳහන් වෙනවා.

ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 43ක්, මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 30ක්, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 17ක්, ළමා රෝහලේ 15ක් හා අපේක්ෂා රෝහලේ 9 දෙනෙකු ද දෙසැම්බර් 31 වන දා විශ්‍රාම ගන්නා බව ද එහි සඳහන් වෙනවා.

මේ අතර, මෙරට සේවය කරන ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සඳහා දායක වන පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු 33 දෙනාගෙන් 08 දෙනකු 31 වන දා විශ්‍රාම ගන්නා බව ද වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ නිවේදනයේ දැක්වෙනවා.

මෙයින් දෙදෙනෙකු මේ වන විටත් විශ්‍රාම ගොස් ඇති බවත් පස් දෙනෙකු විදේශගත වී ඇති බව ත් එහි සඳහන්.

තවත් දෙදෙනෙකු විදේශගත වීමට සැලසුම් කර ඇති බැවින් අවසානයේ ඉතිරිවන්නේ පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු 14 දෙනෙකු පමණකැයිද එහි සඳහන්ව තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අර්බුදයේ ප්‍රමාණය පෙන්වා දෙන හොඳ ම උදාහරණය අපේක්ෂා රෝහලේ ඇට මිදුළු සැත්කම් බව ත් එහි මේ වනවිට දින ලබා දෙන්නේ 2025 වසරේ සැත්කම් සඳහා බව ත් එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.