hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 14, ප.ව. 1:48



රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචිය සහ පැවරීම සඳහා යොදාගනු ලබන ඡායාරූප අයිකාවෝ තාක්ෂණය යටතේ මාර්ගගත ක්‍රමයට (online) සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විට ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍ර සඳහා අයිකාවෝ තාක්ෂණය යටතේ මාර්ගගත ක්‍රමයට ඡායාරූප ලබා දීම දිවයින පුරා පවතින ඡායාරූප ශාලා මගින් සාර්ථකව සිදු කරන බවයි.

සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සමාජික ඡායාරූප ශාලා 7,000කින් පමණ, උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සෑම ප්‍රදේශයක ම ඉහළ ප්‍රමිතියකින් යුතුව වඩාත් කාර්යක්ෂමව මෙම ඡායාරූප සේවා ලබා දීමට පහසුකම් පවතින බවද එම සංගමයේ නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරනු ලැබ තිබෙනවා.

ඊට අවශ්‍ය අයිකාවෝ මෘදුකාංග පද්ධතිය ස්ථාපනය කිරීමට වැයවන පිරිවැය සමස්ත ලංකා වෘත්තිය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය මගින් දැරීමට එකඟතාව පළ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා.