hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 19, පෙ.ව. 5:59



ආර්ථික හා සමාජීය ගැටළු නිසා මානසිකව පීඩනයට ලක්ව ඇති ඇතමුන් එම පීඩනය අඩු කර ගැනීම සදහා ශාන්තිකර්ම කරවා ගැනීමට බලිතොවිල්කරුවන් වෙත යාමේ ප්‍රවණතාවයක් මෑතක සිට දක්නට ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

මේ තුලින් සිදු වන්නේ මානසිකව තව තවත් පිඩනයට ලක්වී කබලෙන් ලිපට වැටිමේ තත්වයක් බවද හෙතෙම පෙන්වා දෙනවා.

මේ පිළිබද  අදහස් දක්වමින් මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා මෙසේද සඳහන් කළා,

 “ආර්ථික පීඩනය ජනතාවට දරා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. මෙම පීඩනය අඩුකර ගැනීම සඳහා ඇතමුන්  ශාන්තිකර්ම කරවා ගැනීම සදහා බලිතොවිල්කරුවන් වෙත යනවා. ඔවුන්ට රැවටිලා ඇතමුන් තමුන්ගේ ධනය පමණක් නෙවෙයි දරුවන්ද බිල්ලට ලබාදීමේ සිද්ධින් මෑතකාලයේ වාර්තා වුනා  මේ පිළිබද ජනතාව දැනුවත් විය යුතුයි. ආර්ථික ගැටළු නිසා ඇතමුන්ට රැකියා අහිමිවෙලා තියෙනවා. ආහාරවල මිල දරාගන්න බැහැ. මේ නිසා ජනතාව තම ආර්ථික ගැටළුවලට විසදුම් සොයනවා වෙනුවට අමතර ආදායම් මාර්ගවලට නැඹුරු වනවා වෙනුවට ග්‍රහ අපල කියලා යක්ෂ බලපෑම් කියලා ශාන්තිකර්ම කරවාගන්න යනවා. මේ නිසා සිදු වන්නේ කබලෙන් ලිපට වැටීමයි. මානසික පීඩනය තවත්වැ වැඩිවෙලා මානසික රෝගින් බවට පත්වෙනවා. මේ නිසා ජනතාවට  මානසික සෞඛ්‍ය දැනුම ලබාදීම සදහා මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් විසින් වෙබි අඩවියක් ආරම්භ කොට තියෙනවා. මේ තුලින් බලාපොරොත්තු වන්නේ  මානසික රෝග හා මානසික සෞඛ්‍ය පිළිබද ජනතාව දැනුවත් කිරීමයි. Slcpsych.lk සබැදියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකියි.”