hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 30, පෙ.ව. 9:02



පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අරඹන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම්දී තිබෙනවා.

මේ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන මස මුල් සතියේ ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු දැනටමත් අරඹා ඇතැයිද ඇය පෙන්වා දුන්නා.

පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා එක් කෝටියකට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිතයි.

මෙම මුද්‍රණ කටයුතු සඳහා රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය වනු ඇතැයි රජය මුද්‍රණාලය සඳහන් කළා.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මූලික අත්තිකාරම් මුදලක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇතැයිද රජයේ මුද්‍රණාලාධිපතිනිය ප්‍රකාශ කළා.

පසුගිය 2018 වර්ෂයේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැය වූ මුදල රුපියල් කෝටි 20ක්. ආර්ථික තත්වය හේතුවෙන් කඩදාසි මිල සහ මුද්‍රණ වියදම ඉහළ යෑම නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මේ වර්ෂයේ ලොකු මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය සෙසු ලියකියවිලි මුද්‍රණයද දැනටමත් අරඹා ඇතැයි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.