hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 24, පෙ.ව. 12:04



පැවැති රජය ජේ‍යෂ්ඨ පුරවැසියන් සඳහා ජේ‍යෂ්ඨ පුරවැසි ගිණුම යනුවෙන් නව ගිණුමක් අවුරුදු 60 ඉක්මවූ අය වෙනුවෙන්  අරඹා තිබිණි. එහෙත් වර්තමානයේ එය අහෝසි කර ඇත.

එම ගිණුමෙන් රු. ලක්ෂ 15ට අඩු මුදලක් තැන්පත් කිරීමේ හැකියාව තිබුණු අතර ඒ සඳහා 15% සහන පොලී අනුපාතයක් ලැබිණි. රාජ්‍ය දෙපාර්තමේන්තුවල සේවය කරන පුද්ගලයන්ට අවුරුදු 60 ඉක්මවූ පසු මුළු ජීවිත කාලය තුළම විශ්‍රාම වැටුපක් ලැබෙන අතර ඔහු මියගිය පසු බිරියටද එය ලැබීමට හිමිකම් ඇති බව අප සියලු දෙනා දන්නා කරුණකි. නමුත් රාජ්‍ය, සංස්ථා, මණ්ඩල, පෞද්ගලික අංශයේ සේවය කරන අයට අවුරුදු 55 ඉක්මවූ පසු එකවර අර්ථසාධක අරමුදලක් (ETF) ලැබේ. ඔවුන් සේවය කළ කාල සීමාව අනුව එම මුදල් ලබාගැනීමට

හැකියාවක් ඇත. මෙම මුදල ලබාගෙන අවුරුදු 05ක කාල සීමාවක් හෝ ජීවත් වීමටවත් ප්‍රමාණවත් නොවුණද සානුකම්පිතව අවධානය යොමුකළ මෙයට පෙර පැවැති රජයන් ජේ‍යෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ සහනයක් වශයෙන් මෙම ගිණුම ආරම්භ කරනු ලැබීය. ඒ අනුව ස්ථිර වශයෙන් ඔවුන් තැන්පත් කර ඇති මුදලට ලැබෙන පොලී මුදල කළමනාකරණය කර ගනිමින් ජීවිතයේ සැදෑ සමය ගත කළහ.

අද සමාජ තත්ත්වය අනුව දරුවන්ට ඇති ආර්ථික ප්‍රශ්න නිසා මවුපියන්ට සැලකීමට අවස්ථාවක් නැති බව අප සියලු දෙනා දන්නා කරුණකි. ඒ අනුව ජේ‍යෂ්ඨ පුරවැසි ගිණුමෙන් මවුපියන්ට ලැබෙන පොලිය ඔවුන්ගේ බෙහෙත් මිලදී ගැනීම සහ ඔවුන්ගේ මරණයේ අවසන් කටයුතු කිරීමටද හැකිවීම දරුවන් සඳහා විශාල සහනයක් වේ. මෙම ගිණුම අහිමි වීම නිසා දහස් ගණන් ජේ‍යෂ්ඨ පුරවැසියන් අද යළිත් මහ මඟට ඇද දමා ඇත.

වර්තමානයේ ජනගහනයේ 30%ක් පමණ වූ ජේ‍යෂ්ඨ පුරවැසියන් නොමැති පවුලක් සොයා ගැනීමට අපහසුය. පවුලක ප්‍රධානියා මෙම ජේ‍යෂ්ඨ පුරවැසියා වෙයි. බොහෝ විට පවුලක දරුවන් කටයුතු කරන්නේ මොහුගේ උපදෙස් අනුවයි. 2019 ජනාධිපතිවරණයේදී 2019-09-04 වැනි දින කොළඹ පැවැති ජේ‍යෂ්ඨ පුරවැසි මහා ජාතික සම්මේලනයට දිවයින පුරා ජේ‍යෂ්ඨ පුරවැසියන් දහස්  ගණනින් පැමිණි බව අප දන්නා කරුණකි.

එදින පැවැති සම්මේලනයේදී හිටපු ජනාධිපති පැවසුවේ “ඔබගේ යුතුකම ඉටු කරන්න. මා ඔබව බලාගන්නා බවයි. නමුත් අප කොළඹට කැඳවූ එම ආසන සංවිධායකවරුම අද සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටිති. වර්තමාන රජයට ඡන්ද හැටනව ලක්ෂයක් ලබාදුන් පුරවැසියන් අතර 50%ක් පමණ සිටිනුයේ ජේ‍යෂ්ඨ පුරවැසියන් බව අමතක නොකළ යුතුය. එබැවින් එම සහනය ලබා දීමට අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: