hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 01, පෙ.ව. 6:03



විදුලි ගාස්තු සංශෝධනය එළඹෙන ජනවාරි 02 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.

මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා කරනු ඇති බවයි වාර්තා වෙන්නේ.

විදුලිබල මණ්ඩලය විසින් එම විදුලි ගාස්තු සංශෝධනය ඉදිරිපත් කර ඇති අතර ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට රුපියල් 10ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජිතයි.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට අදාළව එක් ඒකකයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමටත් ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයට ද දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගැනීමටත් යෝජනා කර තිබෙනවා.

එසේම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා රුපියල් 75ක් දැනට අය කරන අතර එම ගාස්තුව ද කිසිදු වෙනසක් සිදුකර නොමැත.

එසේම මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 120ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත් ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයට අය කළ රුපියල් 240ක ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයට අය කෙරෙන රුපියල් 360 සිට 650 දක්වාත් වැඩි කිරීමට යෝජිතයි.

එමෙන්ම ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට අය කෙරෙන රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වා වැඩි කිරීමටත් ඒකක 121 සිට 180 දක්වා දැනට අයකෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපියල් 960 සිට 1,500 දක්වා වැඩි කිරීමටත් යෝජනා වී තිබෙනවා.

තවද ඒකක 181ට වැඩි විදුලි පරිභෝජනය කරන සෑම පුද්ගලයෙකුගේම ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 සිට 2,000 දක්වා වැඩි කිරීමටත් යෝජනා වී තිබෙනවා.