hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 10, පෙ.ව. 5:21



බුත්තල – කතරගම මාර්ගයේ සහ උඩවලව, හබරණ ආදී වෙනත් ස්ථානවලදී වන අලින්ට ආහාර ලබා දෙන පුද්ගලයින් සහ වන අලින්ට හිංසා වන පරිදි හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස වන ජීවී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, වාහනවලින් ගමන් කරන ඇතැම් පිරිස් වන අලින්ට ආහාර ලබා දීම හේතුවෙන් එම සතුන් මග රැක සිට වාහනවලින් ආහාර ලබා ගැනීමට පුරුදු වී සිටින බවයි.

එමෙන් ම, ඇතැම් මගීන් හා රියැදුරන් වන අලින් කුලප්පු කිරීම මගින් “කිසියම් ප්‍රාථමික වින්දනයක්” ලැබීමට තැත් කිරීම නිසා වන අලින්ගෙන් සිදුවන හානි ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් අදාළ පියවර ගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

බුත්තල – කතරගම පාරේ වන අලි පහර දීම් හේතුවෙන් වාහනවලට අනතුරු වළක්වාලීම සඳහා කෙටිකාලීන වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව, පසුගිය දින 4 පුරා ම පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා යාල, ගල්ගේ වන අඩවි කාර්යාලයේ නිලධාරීන් සහ වාහන යොදවා බුත්තල – කතරගම පාරේ රැඳී සිටින වන අලින් වනාන්තරයට පළවා හැරීමට ත්, වාහනවලට අනතුරු සිදු කිරීම වළක්වාලීම සඳහාත් ජංගම රථ යොදවා මෙහෙයුම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන් ම, මින් ඉදිරියටත් මෙම වැඩපිළිවෙල අවශ්‍යතාවය පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් වන ජීවී දෙපාර්තමේන්තුව තීරණය කරන ලද බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

පසුගිය දින 4 තුළ බුත්තල – කතරගම පාරේ ජංගම රථ යෙදවීම නිසා වන අලින් පාරට ඒම නතර වූ බව ත්, එම කාලය තුළ වාහනවලට හානි කළ බවට කිසිදු සිද්ධියක් වාර්තා නොවූ බව ත් වන ජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළා.