hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 13, ප.ව. 8:16



අපොස (උසස් පෙළ) විභාගය ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. අමිත් ජයසුන්දර මහතා පවසනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,200කදී විභාගය පැවැත්වීමට කටයුතු කර ඇති බව ඔහු නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා.

ඒ අනුව එළඹෙන 17 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණයෙන් විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම් කර තිබෙනවා.

එමෙන්ම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පොස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍යජාල මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබාගැනීම තහනම් බව දන්වා තිබෙනවා.

යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කළහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය වරදකරුවෙකු වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩකිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් හෝ සිදුකළහොත් ඒ පිළිබඳව ළඟම පවතින පොලිස් ස්ථානය හෝ පොලිස් මුලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත පහත අංක ඔස්සේ පැමිණිලි කරන ලෙසද අමිත් ජයසුන්දර මහතා ඉල්ලා සිටිනවා.

* පොලිස් මුලස්ථානය – 011 242 1111

* පොලිස් හදිසි ඇමතුම් අංකය – 119

* ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය – 1911

* විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය – 0112 785 211 / 0112 785 212

* පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 0112 784 208 / 0112 784 537