hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 15, ප.ව. 12:16



17 හැවිරිදි තරුණියගේ මුහුණු පොත සොරාගෙන ඇය ගණිකාවක් ලෙස සමාජගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි අයුරින් විමර්ශනයක් නොකිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පැවසුවා.

සහකාර පොලිස් අධිකාරී උපාලි තලගල මහතාගේ ප්‍රධානත්වයෙන් එම විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.

ඊට අමතරව එම පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පානදුර  කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත යොමු කිරීමට කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසුවා.

බණ්ඩාරගම ප්‍රදේශයේ තරුණියක් සිය ජංගම දුරකථනය අලුත්වැඩියා කටයුත්තකට ලබා දුන් අවස්ථාවේදී එම පුද්ගලයා විසින් ඇයගේ මුහුණු පොත හොර රහසේ ලබාගෙන ඒ හරහා ඇය මුදලට අලෙවි වන තරුණියක් ලෙස  සමාජගත කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

වින්දිත තරුණිය විසින් එම පුද්ගලයා මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කර තිබූ දැන්වීමට ඇතුළත් කර තිබූ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ද පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය සිදුකළ  පරීක්ෂණවලදී එකී තරුණයා පොලිසිය වෙත ගෙන්වා විමසීමේ දී තමන් එලෙස සිදු කළ බවට ඔහු පිළිගෙන ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට බණ්ඩාරගම පොලීසිය කටයුතු කර තිබෙනවා.

එම තරුණිය පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කර තිබූ පැමිණිල්ලක් අනුව සිදු කළ එම විමර්ශන වලින් සෑහීමට පත් නොවන බවට දැනුම් දීමෙන් අනතුරුව එම තරුණියව ඊයේ (14) පානදුර පොලිස් අධිකාරී කාර්යාලය වෙත ගෙන්වා ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

 අද (15) ජංගම දුරකථන අලුත්වැඩියා කරන්නා පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත කැඳවීමට නියමිතයි.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කෙරෙනවා.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ