hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 30, පෙ.ව. 10:13



පොත් ප්‍රකාශකයන්ගේ සහ කතුවරුන්ගේ කෘති නීත්‍යනුකූල අවසරයකින් තොරව පී.ඩී.එෆ්. ආකාරයෙන් සකස් කොට සමාජ මාධ්‍යයෙන් බෙදා හැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ‘අනීතික පී.ඩී.එෆ්. මංකොල්ලයට එරෙහි ලේඛක ප්‍රකාශක සහ පාඨක එකමුතුව‘ තීරණය කර තිබෙනවා.

මෙම ජාවාරම හේතුවෙන් පොත් ප්‍රකාශකයන් සහ කතුවරුන් 400කට වැඩි පිරිසක් අගතියට ලක්ව ඇති බැවින් අද (30) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ත්, හඳුනාගත් සැකකරුවන් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරීමටත් යොදාගෙන ඇතැයි එම සංවිධානය පවසනවා.

මෙම නිර්මාණ කොල්ලය හේතුවෙන් අසාධාරණයට ලක්වූ මෙරට ප්‍රධාන පෙළේ ජ්‍යෙෂ්ඨ කතුවරුන් මෙන් ම නවක ලේඛක ලේඛිකාවන් සාමූහිකව පැමිණිල්ලක් කරන පළමු අවස්ථාව මෙය බව ද ‘අනීතික පී.ඩී.එෆ්. මංකොල්ලයට එරෙහි ලේඛක, ප්‍රකාශක සහ පාඨක එකමුතුව‘ පවසයි.

කතුවරුන් සම්පාදිත කෘති දහස් ගණනක් කලක පටන් අනීතික ලෙස පී.ඩී.එෆ්. ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇතත් මේ දක්වා කිසිදු වගකිව යුතු පාර්ශවයක අවධානය යොමු වී නොමැති බව එම සංවිධානය වැඩිදුරට ත් සඳහන් කරයි.

“යළි නොලියමි ” යන උදෘතය රැගත් හෑෂ් ටැගයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර මෙරට ප්‍රවීණ සහ සම්මානනිය ලේඛකයින් රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ එයට සහාය පළ කර තිබුණා.

මෙරට ප්‍රවීණ සහ සම්මානනිය ලේඛකයින් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර තිබුණා.

ප්‍රවීණ ලේඛක, චන්දන මෙන්ඩිස් මහතා,

“තමන් මහන්සිවෙලා මුදල් උපයාගන්නවා මිසක් වෙන මුදල් ලැබෙන ක්‍රමයක් නැහැ. තමන් බොහෝම වෙහෙස මහන්සි වෙලා ලියපු පොතක් ඒ පොත පිටකරනකොට ම PDF එකක් වැටිලා තියෙනවා දැක්කහම කවුරුත් ඒ පොත මිලදී ගන්නේ නෑ. ඒ දරපු මහන්සියත් වියදමත් අපතේ යනවා.”

ලේඛිකා, චන්දි කොඩිකාර මහත්මිය,

“සමහර වෙලාවට පාඨකයෝ දන්නෙත් නෑ හොර රහසේ මේවා ගන්නේ කියලා. පාඨකයෝ හිතාගෙන ඉන්නේ අපිට යම් ආදායමක් ලැබෙනවා කියලා ඒකෙන්. ඔවුන් සමහර වෙලාවට අහනවා ඊළඟ පොත PDF කරලා කවද්ද දාන්නේ කියලා. එතකොට තමා අපි දන්නේ මෙහෙම දෙයක් කරනවා කියලා.”

ලේඛක දිලීප ජයකොඩි මහතා,

“කෙනෙක් මහන්සියෙන් වැඩ කරලා, පඩි දවසේ තමන්ගේ පඩිපත අරගෙන ගෙදර යද්දි කවුරු හරි පිට් පොකට්කාරයෙක් බලාගෙන ඉඳලා බස් එකේ දී පර්ස් එක ගන්නවා වගේ වැඩක් හා සමානයි මේක.” 

ලේඛක, මංජුල සේනාරත්න මහතා,

“මේ හොරකමට විරුද්ධව තමා මම නොලියමි ව්‍යාපාරයට අතගැසුවේ. ඒකෙන් අදහස් වෙන්නේ නෑ මම ජීවිත කාලය පුරාම ලියන්නේ නෑ කියලා. මොකද මම පෞද්ගලිකව ඉල්ලා සිටිනවා හැම ලේඛකයෙකුටම, ප්‍රකාශයෙකුටම මේ හොර PDF එපා ව්‍යාපාරයට එකතු වෙන්න කියලා.”