hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 7:51



හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් 14 දෙනෙක් පසුගිය යල කන්නයේ පොහොර හා ඉන්ධන බෙදා දීමේදී දූෂණ සිදුකර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකය කළ විශේෂ විගණන පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා.

මෙම නිලධාරීන් විසින් පොහොර හා ඉන්ධන බෙදා දීමේදී රුපියල් ලක්ෂ 18ක් වටිනා පොහොර හා ඉන්ධන අයථා ලෙස බෙදා දී ඇතැයිද එම මුදල් ඔවුන්ගෙන් අයකර ගැනීම හෝ ඔවුන් පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගැනීම සිදුකළ යුතු යැයි විගණන නිලධාරීහු විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වෙනවා.

මොවුන් කුඹුරු නැති ගොවීන්ටද, දැනටමත් කුඹුරු ඇතත් වී වගා කර නැති ගොවීන්ටද පොහොර හා ඉන්ධන  ලබා දී ඇතැයි එම විගණනයේ දී හෙළි වී තිබෙනවා.

යල කන්නයේදී පොහොර හා ඉන්ධන බෙදා දීමේදී වංචා දූෂණ සිදුවූ බවට පළවන මතය පිළිබඳව සොයා බැලීම සඳහා විගණනයක් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ විගණන ඒකකයට දුන් උපදෙස් අනුව පළමුවෙන්ම විගණනය කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි.

කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය හා සමඟ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවැත්වූ සාකච්ඡාවකදී මේ සිද්ධිය හෙළි කළ අතර දිවයින පුරා මෙම විගණනය සිදුකරන බවද එහි දී හෙළි කළා.