hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 මැයි 25, ප.ව. 2:30



ඩීසල් මිල ඉහල යාමත් සමඟ බොහෝ බහු දින යාත්‍රාවල සේවය කරන ධීවරයින් විවිධ නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ වෙමින් සිටින බව සමස්ත ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමය සදහන් කරනවා.

අද (25) පෙරවරුවේ වෙන්නප්පුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අනාවරණය කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා මෙසේ පැවසුවා.

“මේ වන විට බහු දින යාත්‍රා 4500කට වැඩි ප්‍රමාණයක් ධීවර වරායන් තුළ ගාල් කර තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ අවශ්‍ය තරම් ඩීසල් නොලැබීමයි. එක් ධීවර යාත්‍රාවකට අවම වශයෙන් ඩීසල් ලීටර් 10,000 ක් පමණ අවශ්‍ය වනවා. නමුත් ධීවර වරායන් තුළට ඉන්ධන ලැබෙන්නේ ඉතාමත්ම සීමාසහිතව. මෙම තත්ත්වය නිසා අපේ යාත්‍රා දියත් කරන්න බැරිව වරායන් තුළ ගාල් කර තිබෙනවා. මේ ආකාරයට නිරන්තරව ඉන්ධන මිල ඉහල ගියහොත් අපිට අපේ රස්සාව කර ගන්න බැරිව යනවා. පසුගිය වසරේ පමණක් අපි විදේශ විනිමය ලෙස ඩොලර් මිලියන 380ක් අපේ රටට ගෙනවිත් දීලා තියනවා. ඩීසල් සහනාධාරයක් ලබා දී අපේ යාත්‍රා මසුන් මරන්න නොගියහොත් නැති වෙන්නේ ඩොලර් බව අපි මතක් කරන්න කැමතියි.”

මෙහිදී අදහස් දැක්වූ බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසුවා.

“බහු දින යාත්‍රාවක් දියත් කරන්න රුපියල් ලක්ෂ 60 ක් පමණ අපිට වැය කරන්න සිද්ධ වෙනවා. එතකොට එක ගමනකදී රුපියල් ලක්ෂ 60 කට වැඩිය මාළු අරගෙන එන්න ඕනේ. එහෙම නැතිව ගියොත් පාඩුයි. ඒ පාඩුව තියෙන්නේ යාත්‍රා හිමියාට පමණක් නෙමෙයි. යාත්‍රාවේ සේවය කරන ධීවරයින්ද ඒ පාඩුව දරා ගත යුතුයි. මෙන්න මේ නිසා තමයි ඇතැම් බහු දින යාත්‍රා වල සේවය කරන ධීවරයින් නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. මේ නීති විරෝධී කටයුතු නතර කරන්න තියන හොදම දේ තමයි බහු දින යාත්‍රා වලට ඉන්ධන සහනාධාරයක් ලබා දීම. එවිට අපේ යාත්‍රා අරාබි මුහුදට හෝ සෝමාලියන් මුහුදට ගොස් මාළු අරගෙන ඇවිත් විදේශ වෙළද පළට අලවි කරන්න කටයුතු කරනවා. මේ ආකාරයට ඉන්ධන මිල දිනෙන් දින ඉහළ ගියහොත් අපිට කරන්න තියෙන්නේ එකම දෙයයි. ඒ තමයි අපේ යාත්‍රා සියල්ල ධීවර වරායන් තුළ ගාල් කරලා තබන එක. රජය මේ කරන්නේ අපේ රටට ඩොලර් ලැබෙන අවස්ථාන වැති කිරීමයි.”