hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 10:26



ශ්‍රී ලංකාවේ ලක්ෂ 63ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණදෙන බවත් ප්‍රමාණවත් ජීවිතාරක්ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්ත්වය වඩාත් බැරෑරුම් විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙළ අනතුරු අඟවනවා.

ආසන්න වාර දෙකක බෝග අස්වැන්න අසාර්ථක වීම හේතුවෙන් ආහාර නිෂ්පාදනය සියයට 50ක් පමණ පහත වැටීමත් විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආහාර සහ ධාන්‍ය ආනයනය අඩුවීමත් මෙම තත්ත්වයට මූලිකව බලපා ඇතැයි එම සංවිධාන දෙක ‘ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තා මැයෙන් ඒකාබද්ධව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වෙනවා.

මේ නිසා මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතතාවට පත්ව සිටින පවුල්වලට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමේ හැකියාව ලැබෙන පරිදි පවතින සමාජ ආධාර යාන්ත්‍රණ ද ඇතුළුව හදිසි ආධාර සහ ජීවනෝපාය වැඩසටහන් වහාම ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි එහි නිර්දේශ කර තිබෙනවා.

වී අස්වැන්න අඩු වීමත් පවතින ආර්ථික අර්බුදයත් නිසා ආධාර ලබා දීමක් සිදු නොවුණහොත් ලබන ඔක්තෝබර් හා 2023 පෙබරවාරි අතර කාලය තුළ ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් පිරිහෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි එම වාර්තාවේ කරුණු සඳහන් වෙනවා.

ආහාර සුරක්ෂිතතා තත්ත්ව තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහා සහ කෘෂිකාර්මික නිෂ්පාදනය යථා තත්ත්වයට පත්කිරීමට සහාය වීම පිණිස කුඩා ඉඩම් හිමියන් ඉලක්ක කර ගනිමින් ජීවනෝපාය ආධාර ලබා දීම ප්‍රමුඛතාවක් ලෙස සිදුකළ යුතු යැයි ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් මෙම වාර්තාව නිකුත් කරමින් පැවසුවා.

මාස ගණනක් තිස්සේ කඩාවැටෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ විකල්ප නැතිවෙමින් යද්දී බොහෝ පවුල් අසරණව ඇතැයි ද ජනගහනයෙන් පවුල් සියයට 60කට වඩා මිල අඩු පෝෂ්‍යදායී නොවන මෙන්ම ප්‍රමාණාත්මකව අඩු ආහාර වේලක් භුක්ති විඳින්නේ යැයි ලෝක ආහාර වැඩපිළිවෙළෙහි නියෝජිත සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සිද්දිකී මහතා සඳහන් කළා.

මූල්‍ය බාධා හේතුවෙන් පාසල් දරුවන්ට, මවුවරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ක්‍රියාත්මක ආහාර වැඩසටහන් කප්පාදු කිරීමට රජයට සිදුවනු ඇතැයි ද එවැනි අවදානම් ප්‍රජාවන්ගේ පෝෂණය තවදුරටත් පිරිහී යාම වැළැක්වීම ලෝක ආහාර වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතාවක් යැයි ද සිද්දිකී මහතා පැවසුවා.

එසේ ම, රටේ ප්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනය මේ වසරේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර ඇතැයි ද පොහොර යෙදීම අඩුවීම ඊට හේතුව යැයි ද එම වාර්තාවේ සඳහන් වෙනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පසුගිය ජූනි සහ ජූලි මාසවලදී මෙම ඒකාබද්ධ ආහාර බෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරුව කර ඇත්තේ රජයේ ඉල්ලීමකට අනුවයි.

මේ අතර ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබලගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති මෙම යාන්ත්‍රණය කමිටු හතක් හරහා ක්‍රියාවට නංවා තිබෙනවා.

“කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” සහ “කිසිදු දරුවෙක් මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය” යන්න මෙම යාන්ත්‍රණය පිහිටුවීමෙහිලා ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපතිවරයාගේ සභාපතිත්වය යටතේ ජාතික ආහාර සුරක්ෂිත හා පෝෂණ සභාව ක්‍රියාත්මක වෙනවා.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙනි. අග්‍රාමාත්‍ය ලේකම්වරයා ආහාර සුරක්ෂිතතාව හා තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපතිවරයා වෙයි.

ආහාර සුරක්ෂිතතාව හා පළාත් ඒකාබද්ධ යාන්ත්‍රණය පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරු ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රණය භාරව ක්‍රියා කරයි.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ප්‍රාදේශීය  ඒකාබද්ධ යාන්ත්‍රණය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වෙනවා.

ග්‍රාම නිලධාරි වසම් 14.022ක් තුළ ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි, සමෘද්ධි නියාමක, පවුල් සෞඛ්‍ය සේවිකා, ළඟම පාසලේ විදුහල්පති සහ පළාත් පාලන ආයතනයේ නියෝජිතයන් දෙදෙනකුගෙන් සමන්විත ආර්ථික පූනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා, එමඟින් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ආර්ථික පුනර්ජීවයක් ඇති කොට දරිද්‍රතාව පිටුදැකීම, මන්දපෝෂණයෙන් දරුවන් මුදාගැනීම, ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාව මෙන්ම ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට මෙම යාන්ත්‍රණයෙන් කටයුතු කෙරෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ මඟ පෙන්වීමෙන් ක්‍රියාත්ම මෙම වැඩසටහනට අගමැතිවරයා සහ ජනාධිපති ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරි මට්ටම දක්වා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත්, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තිකයන්, ආගමික නායකයන් සම්බන්ධ කරගෙන තිබෙනවා.