hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 04, පෙ.ව. 7:35



දරුවන්ගේ ඇස්වලට ශ්වසන පද්ධතියට හා සමේ අසාත්මිකතාවලට හේතුවිය හැකි ‘බිස්ෆීනෝල් A’ නම් අහිතකර රසායනිකය ප්ලාස්ටික් කිරිබෝතල් සහ දරුවන්ට භාවිතයට ලබාදෙන ජූස් ෆීඩින් කප්වල ඇති බවට බලධාරීන් දැනුවත් කළද තවමත් එම බඳුන් වෙළෙඳ පළේ දක්නට ලැබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මුල්වරට මේ බව හෙළි කරන ලද්දේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය. එසේම පසුගිය කාලය පුරාවට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පර්යේෂණ දත්ත මෙන්ම ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ ආයතන දැනුවත් කළ නමුත් තීරණ ගන්නා ආයතන මෙහි බරපතළ බව වටහා ගන්නා බවක් පෙනෙන්නට නැතැයි එම නිවේදනයේ සඳහන්.

‘බිස්ෆීනෝල්’ යනු ඉතා සැලකිලිමත් විය යුතු (Substance of very high concern) ද්‍රව්‍යයක් ලෙස ලැයිස්තුගත විය යුතු බව යුරෝපා සංගම් අධිකරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පසුගිය එනම් 2021 දෙසැම්බර් මාසයේදී ය.

යුරෝපයේ රසායනික ඒජන්සිය එනම් European Chemicals Agency (ECHA) විසින් බිස්ෆීනෝල් A හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපාන රසායනිකයක් ලෙස හඳුනාගැනීමේ තීරණය ආපසු හැරවීම උදෙසා ප්ලාස්ටික් European Chemicals Agency නම් ආයතනය පැවරූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය මේ බව සඳහන් කර තිබෙනවා.

මෙයට සමගාමීව මෙතෙක් දිනකට පරිභෝජනය කළද හානියක් නොමැතිය යන මට්ටමද සංශෝධනය කිරීමට The European Food Safety Authority (යුරෝපා ආහාර සුරක්ෂිතතා අධිකාරිය) යෝජනා කර තිබෙනවා.

මෙතෙක් පැවති දිනකට දේහ බර කිලෝ ග්‍රෑමයකට මයික්‍රොග්‍රෑම් 4ක්ව පැවති මෙම අගය, දිනකට දේහ බර කිලෝග්‍රෑමයකට නැනෝග්‍රෑම් 0.04ක් දක්වා අඩු කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වනවා. ඒ මෙම බිස්ෆීනෝල් A (BPA) වල ඇති බලපෑම හේතුවෙන්.

යුරෝපා සංගමය බිස්ෆීනෝල් ප්‍රජනන හැකියාවට බලපෑම් ඇති කරන, ඇස්වලට හානිකරන ශ්වසන පද්ධතිය ආශ්‍රිත අපහසුතා ඇති කළ හැකි, සමේ අසාත්මිකතාවලට හේතුවිය හැකි මෙන්ම ජලජ ජීවීන්ට හානිකර රසායනිකයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් ළදරුවන් සඳහා ප්ලාස්ටික් ආහාර පාන බඳුන් භාවිතය අත්හරින ලෙස ඉල්ලා සිටින බවද පරිසර යුක්ති කේන්ද්‍රය මගින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.