hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 24, ප.ව. 2:33



නිට්ටඹුව – පස්යාල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සිදුවන කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

රාත්‍රී කාලයේදී ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයින්ගෙන් මුදල් ලබා ගැනීමටයි මෙම කප්පම්කරුවන් පියවර ගෙන ඇත්තේ.

ඇතැම් පුද්ගලයින් පාරිභෝගිකයින් බියවද්දා පෝලිම්වලට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ද ඇතුළු කිරීම සිදුකරන බවට පොලීසියට පැමිණිලි ලැබී තිබෙනවා.

එමෙන්ම, ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල නතර කර ඇති යතුරුපැදිවල හිස්වැසුම් ද සොරකම් කිරීමේ ජාවාරමක් ද ආරම්භ වී ඇති බවටයි පාරිභෝගිකයින් පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

මේ අතර ගලේවෙල විවිධ සේවා සමූපකාරයට අයත් ගලේවෙල මකුලුගස්වැව ඉන්ධන පිරවුම්හ හල අසල ඊයේ (23) පස්වරුවේ ප්‍රදේශවාසීන් සහ කාන්තාවෝ එක්ව මැර කණ්ඩායම්වලට පහර දී ඔවුන් එළවා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ඉන්ධන පිරවුම්හලට දින ගණනාවක් සිට ලැබෙන ඉන්ධන ප්‍රදේශයේ ජනතාවට ලබා ගැනීමට දැඩි දුෂ්කරතා මතුව තිබෙන බවත් ඉන්ධන ලබා ගැනීමට එන බොහෝ පාරිභෝගිකයන්ට එම ස්ථානයේ සිටින මැර කණ්ඩායම් පහරදීම් සිදුවී ඇති බවට මකුලුගස්වැව පොලිසියට පැමිණිලි රැසක් ලැබී ඇතැයි පොලිසිය කියයි.

එවැනි තත්ත්වයක් තිබියදී ඊයේ (23) ඉන්ධන බෙදා හැරීම් කටයුතු සිදු කරන අවස්ථාවේදී මැර කණ්ඩායම් පැමිණ ප්‍රදේශවාසීන්ට ඉන්ධන ලබා ගැනීමට නොදී ඔවුන් ඉන්ධන ලබා ගැනීම සිදු කරද්දී එකවරම කාන්තාවන් කණ්ඩායමක් පැමිණ මෙම පිරිස්ට පහරදී පන්නා දැමීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේදී කාන්තාවන් පොලීසියටද බුලි වලින් පහර දී මැර කණ්ඩායම් වලට දැඩි ලෙස පහර දෙමින් පන්නා දැමීමට කටයුතු කළ අතර ආරක්ෂක නිලධාරීන්ට ද එය පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ සිටි මෙම කණ්ඩායම් කියා සිටියේ පොලිසිය යුද හමුදාව සියල්ල රැඳී සිටියදී මැරකම් කණ්ඩායම් මෙම ඉන්ධන පිරවුම්හල අත්පත් කරගෙන සිටින බවයි.

මෙම හේතුව නිසා පැමිණිලි දැම්මද පොලිසිවලින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බව ද ඔවුන් පවසයි.

මේ වන විටත් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයා ඇතුළු කණ්ඩායම් පහර දුන් බවට පාරිභෝගිකයන් මකුලුගස්වැව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද ඔවුන් සඳහන් කරයි.

මෙම මැර කණ්ඩායම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේ බස්නාහිර පළාතෙන් බැහැර බොහෝ පොලිස් ස්ථාන වල මෙන්ම බුද්ධි අංශ මඟින් ලැබුණු තොරතුරු මගින් අනාවරණය වුයේ මෙලෙස හුවා දක්වා තරම් මැර කල්ලි සමඟ ඇති වන ගැටුම් ඇති නොවූ බවයි.

නමුත් බස්නාහිර පළාතේ යම් යම් ස්ථාන වල ගැටුම් ඇති වූ බව ඒ මහතා සඳහන් කළා.

සංවිධානාත්ම අපරාධකරුවන්ට වඩා ඒ ඒ ප්‍රදේශ වල සිටින ජාවාරම්වල යෙදෙන පුද්ගලයින් මෙලෙස මෙවැනි ස්ථාන වලට පැමිණ ගැටුම් ඇති කර ගන්නා අවස්ථා කිහිපයක් වාර්තා වූ බවද තල්දුව මහතා පවසා සිටියා.