hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 26, ප.ව. 2:46



පිරවුම්හල්වල පෝලීමේ සිටින ජනතාවට හෙට (27) සිට අංකයක් ලබාදී ඒ අනුව ඉන්ධන ලබාදීමට පියවර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මේ බව පැවසුවා.

රට සතුව මේ වන විට පවතින්නේ, ඩීසල් මෙටි්‍රක් ටොන් 9000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6,000ක් පමණක් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත අද චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනතාව මුහුණදී ඇති ගැටලුකාරී තත්ත්වය සැළකිල්ලට ගෙන නැවත දැනුම්දෙනතුරු අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවා ස්ථානයට කැඳවීමටත්, හැකි සෑම අවස්ථාවකදීම සේවකයන් නිවසේ රැඳී සිටීමට ඉඩ දෙමින් ඔවුන්ගේ සේවය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගැනීමට ප්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කරන ලෙසයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය,

“ඊයේ රාත්‍රීයේ ආරක්ෂක මණ්ඩලය මුණගැහිලා තිබුණා. ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ උපදෙස් පරිදි. ඒ අනුව ඔවුන් තීරණය කරලා තියෙනවා හෙට දවසේ ඉඳලා, හැම පිරවුම්හලකම පෝලිමේ යම් පුද්ගලයෙක් ඉන්නවා නම්, හැමකෙනාට ම ඒ ඉන්න පිළිවෙල අනුව ටෝකන් එකක් ලබාදෙන්න හෙට ඉඳලා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව හා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශය පිරවුම්හල්වලට යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඒ ටෝකන් එක අනුව ඔවුන්ගේ දුරකථන අංකය ලබාගෙන තමා ඒ ටෝකන් එක දෙන්නේ. වෙනස් කරන්න බැරි විදියේ. ඒ ෂෙඩ් එකට ආවේණික විදියට. ඒක තමා මාණ්ඩලික ප්‍රධානීතුමා මට උදේ කතා කරලා කිව්වේ, ආරක්ෂක ලේකම්වරයා සමග වැඩපිළිවෙල ගැන කතා කරගන්න කියලා.”

“ඒ අනුව හෙට අනිද්දා වෙද්දි හැම පිරවුම්හලටම දෙන්න බැරිවෙනවා ඊළඟ නෞකාව අපිට ලැබෙන කල්. ඒ ලැබෙන තුරු පෝලිම්වල ඉන්න ජනතාවට ඉන්ධන බවුසරයක් ලැබුණාම පළමුවෙන් ඉන්න අයට කතා කරලා දැනුවත් කරන්න තමා බලාපොරොත්තුව. ඉදිරි දින කිහිපයේ මේ කටයුත්ත කළමනාකරණය වෙනකල්. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, කණගාටුවෙන් මේක කියන්නේ, ඉතාම බැගෑපත්ව මේක කරන්නේ. මම දන්නවා තියෙන වේදනාව. මම දන්නවා තියෙන පීඩනය සහ වෛරය. මට හෝ රජයට හෝ අමාත්‍යාංශයට වෙන්න පුළුවන්, ජනාධිපතිවරයා ට හෝ අගමැතිවරයාට නමුත් ඉල්ලා සිටිනවා පෙළ ගැසෙන්න එපා ඉදිරි දින කිහිපයේ ඉන්ධන පිරවුම්හල් අසල. ටෝකන් එක ලබාගෙන ඔබට නිවෙස්වලට යන්න පුළුවන්”