hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2022 මැයි 28, පෙ.ව. 5:04



ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හල් වෙත පැමිණෙන වාහන නිරීක්ෂණය කිරීමට සහ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් සමග එම දත්ත එසැණින් හුවමාරු කර ගැනීමට හැකියාව ඇති ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් මේ වන විට දිවයිනේ ස්ථාන කිහිපයකදී අත්හදා බලමින් සිටින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

මෙම යෙදවුම ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරනු ලැබූවක් බව අමාත්‍යවරයා පැවසුවා.

ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගන්නා පාරිභෝගිකයින්ගේ වාහනයේ අංක තහඩුව අදාළ යෙදුමට ඇතුළත් කිරීම මෙහිදී සිදු වෙනවා.

ඇතුළත් කළ දත්ත අනෙකුත් යෙදුම් භාවිත කරන පිරවුම්හල් සමග සමග එසැණින් හුවමාරු කෙරෙනු ඇත.

වාහනයේ අංක තහඩුව ඇතුළත් කළ පසු, එම වාහනය එකම දිනක වෙනත් ස්ථානයකින් ඉන්ධන ලබා ගැනීමක් සිදුකර ඇත්ද යන්න සහ වාහනයට ඉන්ධන ලබාගත් පෙර තොරතුරු ආදිය පිරවුම්හල් වෙත දැන ගත හැකි වන බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර ඉන්ධන සැපයුම තවදුරටත් සීමා කරන්නේ යළි මිළ ඉහල දැමීමේ අරමුණින් යැයි සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය පවසයි.

එම වෘත්තීය සමිතියේ කැදවුම්කරු ආනන්ද පාලිත කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ මෙරටට ගෙන්වා ඇති බොරතෙල් නෞකාවකට ප්‍රමාද ගාස්තු ලෙස අති විශාල මුදලක් ගෙවන බවයි.

“29 වැනිදා මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් නැවක් එනවා. වැස්ස නිසා දැන් ජලාශ පිරිලා. එහෙනම් මේ සීමා කරන්නේ අනිවාර්යයෙන්ම ඉතා කඩිනමින් යළි ඉන්ධන මිල වැඩිකරන්න.දැන් පෝලිම් නැති කළ යුතුයි. පෝලිම් වලට අවශ්‍ය ඉන්ධන තියෙනවා. මේ තියාගෙන ඉන්නේ ඉන්ධන ගොඩගහගෙන තියලා, මිනිස්සු පාරෙ තියලා මිල වැඩිකරන්න.”