hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 31, ප.ව. 2:23



ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොම්බාව ප්‍රදේශීය රජයේ ඉඩමක් ගලේවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට ව්‍යාජ ලිපි ලේඛන සකසා පවරාදී ඇතැයි චෝදනා කරමින් ගම්මුන් පිරිසක් අද (31) පෙරවරුවේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබුණා.

ගලේවෙල ප්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණ මන්ත්‍රීවරයෙකු වන එම් .ජී. දිසානායක මහතා විසින් රජයේ නිලධාරීන්ගේ  සහයෝගය ලබාගෙන මෙම ඉඩම කූට ලේඨ ලේඛන සකසා තිබෙන බවත් ඒ සඳහා රජයේ වගකිවයුතු නිලධාරීන් දේශපාලන අධිකාරිය සහයෝගය ලබාදී මේ ආකාරයෙන් රජයේ සතු අක්කර 32ක පමණ විශාල ඉඩමක් හෙළිපෙහෙළි කර ඒවායේ ගස් කපා විනාශ කර දමා ඇතැයි උද්ඝෝෂකයින් ප්‍රාදේශීය ලේකම්වරයාට චෝදනා කරනවා.

මේ වන විට වසර ගණනාවක් තිස්සේ මහා ඝන කැලෑවක් ව තිබුණු රජයේ ඉඩම් යන්ත්‍ර  සූත්‍ර දමා ඩෝසර් කොට එහි තිබූ වටිනා ගස් සියල්ල කපා ඒවා ද දැව බවට පත් කොට අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදුවන බවත් මෙතෙක් ප්‍රාදේශීය ලේකම්වරයා නීත්‍යානුකූල කටයුතු කර නැති බවද උද්ඝෝෂකයෝ කියා සිටියා.

ඉඩම් රෙජිස්ටාර් ජෙනරාල් කාර්යාලය මගින් මහජන විරෝධය සැලකිල්ලට ගෙන ඉඩම තාවකාලිකව තහනම් කරන ලෙස ගලේවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබියදීත් එම නියෝග පවා ක්‍රියාත්මක නොකරන බවද උද්ඝෝෂකයින් චෝදනා කළා.

1968 වසරේදී එවකට නාමික ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ විලියම් ගොපල්ලව මහතා විසින් මෙම විශාල ඉඩම මාධ්‍ය ප්‍රාන්තික ඉඩම් පැවරුම යටතේ මාරිමුත්තු කරුපයියා නැමැති අයෙකුට රජයේ බදු පදනම යටතේ ලබාදී පසුව වසර කිහිපයකට අනතුරුව එම ඉඩම කිසිදු ක්‍රියාවලියකට නොගෙන මහා වනයක් බවට පත්ව තිබුණු බව ජනතාව පෙන්වා දෙනවා.

මෙම ඉඩම ගලේවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන එම් .ජී .දිසානායක මහතාට හිමිකම් ඇති බවට 2021 වසරේ  පෙබරවාරි 09 දින ලියාපදිංචි හිමිකම් පවතින බව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කසුන් ආරියරත්න මහතා පවසනවා.

විරෝධතාකරුවන් කිහිපදෙනෙකු ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළට ගොස් ප්‍රාදේශීය ලේකම් කසුන් ආරියරත්න මහතා හමුවී මේ පිළිබඳව දැනුවත් කිරීම සිදුකරන අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් කියා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුදැනුම ඇතිව රජයේ ඉඩම් මෙයාකාරයෙන් අත්පත් කරගෙන මහ කැළෑව විනාශ කළ ද මෙතෙක් ප්‍රාදේශීය ලේකම්වරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි.

ඉඩම් රෙජිස්ටර් කොමසාරිස්වරයා විසින් ලබා දෙන නියෝග පවා ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි ඔවුහු ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළා.

පසුව අප ගලේවෙල ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් මෙම ඉඩමේ හිමිකම් පැවරෙන්නේ කෙසේදැයි විමසීමේ දී හෙතෙම කියා සිටියේ 1968 වසරේදී මෙම ඉඩම මාරිමුත්තු කරුපයියා නැමැති අයට ලබාදී පසුව ඔහුගෙන් මුණුබුරෙකු වූ වන නරේෂ්  මංචලිංගම් යන අයට අයිතිය පැවරී තිබෙන බවයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට ඉඩමේ හිමිකම් පැවත එන ආකාරයට එකල ගිවිසුම් සකස් කර ඇතැයි සඳහන්ය කළා.

ඒ අනුව වර්තමානයේ මෙම ඉඩම හිමිකම් කියන එම්.ජී. දිසානායක යන අයට  2021 පෙබරවාරි 9 වන දින සිට ඔහුට හිමිකම් පැවරෙන ලියකියවිලි ඇති බවද ප්‍රාදේශීය ලේකම් ලේකම්වරයා පෙන්වා දුන්නා.

පරම්පරාවෙන් පරම්පරාවටට රජයේ ඉඩම භුක්ති විඳින ආකාරයට ලියවී ඇත්නම් වර්තමානයේ ඉඩම් හිමිකම් කියන ‍ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිසානායක මහතාට ඇති ඥාති කුමක්දැයි අප ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසීමේ දී කියා සිටියේ ඒ පිළිබඳව තමන්ට ප්‍රකාශයක් කිරීමට නොහැකි බව යි.

තොරතුරු දැනගැනීමේ පනත හරහා අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටියහොත් තමන්ට ලබාදිය හැකි බවද ඒ මහතා සඳහන් කළා.

විරෝධතාවයේ නිරත වූ පිරිස්  ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිමින් විරෝධ්තාවය පවත්වද්දී ගලේවෙල පොලීසියේ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට යොදවා තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී දිසානායක මහතාගෙන් අප දුරකථනයෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ මෙම ඉඩම 1968 වසරේදී මාරිමුත්තු කරුපයියා නැමැති අයෙකුට රජයේ මගින් පවරා තිබුණු බවත් පසුව ඔහුගේ මුණුබුරකු වන මන්චලින්ගන් මහතාට පැවරී තිබියදී ඒ මහතා විසින් තමන්ට අවශ්‍ය ලියකියවිලි සාදා නිත්‍යානුකුලව පවරා දුන් බවද ඒ මහතා මේ වන විට කැනඩාවේ පදිංචි කරුවෙකු බවද සඳහන් කළා.