hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 11:52



ඓතිහාසික ලෝක උරුම ගාල්ල කොටුපවුරෙහි පුරාවිද්‍යා ආරක්ෂිත කලාප තුළ පිහිටි ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ අනවසරයෙන් සිදුකරගෙන යන බරපතළ හෑරීමක් වහාම නතර කිරීමට තමන් පියවර ගත් අතර ඒ පිළිබඳව අවශ්‍ය නීතිමය කටයුතු කරන ලෙසට ගාල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා අධ්‍ය‍ක්ෂිකාවට උපදෙස් ලබාදුන්නේ යැයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසුවා.

පුරාවිද්‍යා රක්ෂිතයක් තුළ පිහිටි පෞද්ගලික ඉඩමක හෝ මෙවැනි හෑරීමක් සිදුකරන්නේ නම් අපෙන් අවසර ලබාගෙන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුකළ යුතු බව කී ඒ මහතා මෙම ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් යුනෙස්කෝව ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මේ වනවිට යළිත් පරීක්ෂණ පවත්වන මෙම අවස්ථාවේදී මෙවන්නක් කිරීම බරපතළ කරුණක් බවද සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන් මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පවසා සිටියේ මෙම සිද්ධිය දැනගත් වහාම නතර කරන ලෙසට දැන්වුවද ඔවුන් එය නොසලකා කටයුතු කළ බවත් පසුව පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් ලද උපදෙස් මත පොලිසියද මැදිහත් කොටගෙන මෙය නතර කළ බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කිරීමට නීති අංශය දැනුවත් කරන බවද පැවැසුවා.

මෙයට අමතරව ගාල්ල නගර සභාවත් නාගරික අධිකාරියත් ගාලු උරුමය පදනමත් අවශ්‍ය කටයුතු කිරීම සඳහා දැනුවත් කිරීමට අදම පියවර ගන්නා බවත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නීති අංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී ගැසට් නිවේදනයක් මඟින් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම්කර ඇති දෙයක් හෝ එහි රක්ෂිතයක් තුළ ඇති දෙයක් පුරාවිද්‍යාවෙන් ඉවත් කර කිසිම කෙනකුට පවරා දී නැති බවත් එසේ කළ නොහැකි බවත් ගාල්ලේ සිදු කරන මෙවන් ක්‍රියා නිසා ගාලු  කොටුවට හිමි වී ඇති ලෝක උරුම තත්ත්වය පවා නැති විය හැකි බවත් සඳහන් කළා.