hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 21, පෙ.ව. 6:48



දෛනිකව බෙදා හරිනු ලබන ගෑස් සිලින්ඩරවලින් 60%ක් අධික ජනගනත්වයක් පවතින සහ විකල්ප බලශක්ති ප්‍රභව සඳහා සීමා පවතින කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ලිට්‍රෝ ගෑස් සමාගමට නිර්දේශ කර තිබෙනවා.

එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින් ඊයේ (20) මෙම නිර්දේශය කරනු ලැබ තිබෙනවා.

අධික ජනගනත්වයක් පවතින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවට විකල්ප බලශක්තිය ප්‍රභවයන්ගේ සීමා සහිත බව ඇතුළු කරුණු කාරණා සලකාබලා ඉදිරි සතියක පමණ කාල සීමාව තුළ මෙලෙස බෙදා හැරීම සිදු කරන ලෙස කමිටුව උපදෙස් ලබා දී තිබෙනවා.

ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් ගෙන්වීමට වෙන්කර ඇති ඇ.ඩො මිලියන 160න් ලිට්‍රෝ සමාගමට ලැබෙන ඇ.ඩො.මිලියන 120ක මුදල යොදා ගෑස් මිල දී ගැනීමේ කටයුතු සදහා අවශ්‍ය පියවර ගන්නා බවත් එම මූලික කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු මාස තුනකට ගෑස් සැපයිය හැකි බව ත් ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ‍ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් ගෙන්වීම සදහා අවශ්‍ය කටයුතු ඉතා කඩිනමින් සිදුකර මෙම තදබදය අවම කිරීමට වහා ම අවශ්‍ය පියවර ගන්නා ලෙස කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

එසේ ම ලෝක බැංකුවෙන් ඇ.ඩො. මිලියන 80ක ණය පහසුකමක් ලැබීමට නියමිත බව ත් ඒ අනුව නව කාලීන ප්‍රසම්පාදනයකට (Term Tender) යාමට අපේක්ෂා කරන බවත් ලිට්‍රෝ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එසේ ම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ පවතින සමාගමක් වන ලිට්‍රෝ ගෑස් සමාගමට රක්ෂණ සංස්ථාවේ සංචිතවලින් මේ මොහොතේ යම් මූල්‍ය ශක්තියක් ලබා දීමට ඇති හැකියාව සොයා බලා ඒ සදහා පියවර ගන්නා ලෙස ද රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

පවතින අර්බුදකාරී තත්ත්වය තුළ ගෑස් පෝලිම් විශාල වශයෙන් ඇති බැවින් දෛනිකව ගෑස් බෙදා හැරීම සිදුවන ආකාරය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා අදාළ තොරතුරු වෙබ් අඩවියේ සහ දුරකතන යෙදවුමක් මගින් පළ කිරීමට වහාම කටයුතු කරන ලෙස ද මෙහිදී කෝප් සභාපතිවරයා ලිට්‍රෝ සමාගමට නිර්දේශ කර තිබෙනවා.

මෙමගින් අදාළ අලෙවි නියෝජිතයා හරහා දෛනිකව කොපමණ සිලින්ඩර ප්‍රමාණයක් යම් දිනකදී ලැබෙනවා ද යන්න පාරිභෝගිකයාට නිශ්චිත වශයෙන් දැන ගැනීමට හැකියාව ලැබෙන බැවින් ගෑස් සිලින්ඩර අපේක්ෂාවෙන් මහජනතාව දිගු පෝලිම්වල රැදී සිටිමින් සිදුවන අපහසුතාව මගහරවා ගත හැකි බවද කමිටුව පෙන්වා දී තිබෙනවා.

එසේ ම, දැනට පවතින ක්ෂණික ඇමතුම් අංකය වන 1311 වඩාත් කාර්යක්ෂම විසිහතර පැය ක්‍රියාත්මක තොරතුරු ලබා දීමේ අංශයක් ලෙසට සංවර්ධනය කරන ලෙස ද ලිට්‍රෝ සමාගමට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු ද මේ වන විට අඛණ්ඩව සිදු කෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එම සමාගම සඳහන් කළේ ඊයේ දිවයින පුරා ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීමට පියවර ගෙන ඇති බවයි.

ඇතැම් ප්‍රදේශ වල ගෑස් බෙදා හැරීමේ කටයුතු වලට අවශ්‍ය සහය සහ ආරක්ෂාව ලබා දීමට හමුදාව සහ පොලීසිය යොදවා තිබූ බවයි ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත් ගෑස් අලෙවි මධ්‍යස්ථානවලට සීමා සහිතව ගෑස් ලැබීම හේතුවෙන් ඒවා ඉදිරිපිට තවදුරටත් ඉතා දිගු පෝලිම් පවතිනවා.