hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අප්‍රේල් 23, පෙ.ව. 9:47



ශ්‍රී ලංකාව වෙත සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන තානාපතිවරයා ප්‍රතිඥා ලබා දී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගිය 21 වනදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී චීන තානාපති චී චෙන්හොන්ග් මහතා හමුවූ අවස්ථාවේදී එම ප්‍රතිඥා ලබා දී තිබෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

තානාපතිවරයා පිළිගත් අමාත්‍ය පීරිස් මහතා, දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට පෙර සිටම ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය අගය කළා.

චීන ස්මාරක

චීන රජයේ අරමුදල්වලින් ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද චීන ස්මාරක පිළිබඳව ද තානාපතිවරයා සිහිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බලශක්ති හිඟය පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍යවරයා තානාපතිවරයා දැනුවත් කළා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම මෙන්ම මූල්‍ය ආධාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙමින් පවතින සාකච්ඡා ඇතුළුව, වත්මන් තත්ත්වය කඩිනමින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ පියවර පිළිබඳව ද අමාත්‍යවරයා විසින් තානාපතිවරයා දැනුවත් කර තිබෙනවා.

චීන සහය ඉල්ලයි

තවද අමාත්‍යවරයා විශේෂයෙන්ම මෙම දුෂ්කර වාතාවරණය හමුවේ පැන නැගී ඇති මූල්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් චීනයේ වැඩිදුර සහය ඉල්ලූ බව එම අමාත්‍යාංශය පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් පවතින තත්ත්වය කොළඹ සහ බීජිං හි පිහිටි චීන තානාපති කාර්යාල සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

චීන රජයේ සෘජු සහයෝගය, කලාපීය රජයේ සහයෝගය සහ චීන රතු කුරුස සංවිධානයේ සහයෝගය ඇතුළුව හැකි සෑම ආකාරයකින්ම චීන රජය ශ්‍රී ලංකාව වෙත සිය සහය ලබා දෙන බවට තානාපති චී මහතා සහතික වී තිබෙනවා.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය (CIDCA) සහල් ටොන් 5000ක් (මින් පෙර ප්‍රකාශයට පත් කරන ලද ටොන් 2000ක ප්‍රමාණය ද සමඟ), ඖෂධ, නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව RMB මිලියන 200ක හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

චීන පළාතකින් පරිත්‍යාගයක්

තවද, යුනාන් පළාත ශ්‍රී ලංකාවට RMB මිලියන 1.5 ක ආහාර පැකේජ පරිත්‍යාග කරන බව නිවේදනය කර තිබුණා.

චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන නොසැලෙන සහ ස්ථිර සහයෝගය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා චීනය වෙත ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළා.

පුද්ගල හුවමාරු, බහුපාර්ශ්වික සංසද හමුවේ සහයෝගය ලබා දීම, දරිද්‍රතාවය තුරන් කිරීම වැනි කරුණු කෙරෙහි ද මෙම හමුවේ දී අවධානය යොමු කර තිබෙනවා.